කොවිඩ් පැණි ගැන විද්‍යානුකූල තවුරුකිරීමක් දෙන ලෙස අගමැති ඉල්ලයි
කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් දේශීයව සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම ගැන ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. මේ බව අගමැතිවරයා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබේ.
මේ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමත් ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ සහ ඉන්දික ජාගොඩ මහතාගේ මුලිකත්වයෙන් සැකසූ කොවිඩ් සඳහා විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම සහ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධ පැණියත් සම්බන්ධයෙන් විද්‍යානුකූල පරීක්ෂණයකින් තහවුරු කිරීමට අග්‍රාමාත්‍යවරයා ජාතික පර්යේෂණ සභාවට නිර්දේශ කර තිබේ.
කෑගල්ල ධම්මික බණ්ඩාර වෙද මහත්මයාගේ පැණිය පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කෙරේ.
ඒ පිළිබඳව පර්යේෂණ සඳහා මෙරට සියලුම වෛද්‍ය විද්‍යාල නියෝජනය වන පරිදි කායික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම ඇති ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පස් දෙනෙකු සහ ජාතික පර්යේෂණ සභාව වෙනුවෙන් ජාතික පර්යේෂණ සභාවේ සභාපති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා යොමු වී ඇත.
මේ අතර ලෝකයේ කොවිඩ් සම්බන්ධයෙන් සොයාගත් එන්නත් වර්ග ගැන කරුණු සොයා ඒ පිළිබඳව වාර්තාවක් සපයන ලෙස මින් පෙර අගමැතිවරයා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී ඇති අතර ඒ අනුව සකස්කළ වාර්තාව පදනම් කර ගනිමින් ආසාදනයට එරෙහිව ලොව හොඳම එන්නත් තුන සම්බන්ධ වාර්තාව පර්යේෂණ සභාව විසින් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහතමියට දී තිබේ.
