News

කොවිඩ් රෝගීන්ට හයිඩ්‍රොක්ලෝරොක්වීන් පෙත්ත එපා-Who

කොවිඩ්-19 වයිරසය මැඬපැවැත්වීම සඳහා හයිඩ්‍රොක්ලෝරොක්වීන් ඖෂධය භාවිතය සහ අත්හදාබැලීම වහාම නතර කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙයි.

එම සංවිධානය පවසන්නේ මැලේරියාව මර්දනය කිරීම සඳහා භාවිත කරන මෙම ඖෂධය කොවිඩ්-19 රෝගීන්ට භාවිත කිරීමෙන් එම රෝගීන් මරණයට පත්වීමේ අවදානම ඉහළ යන බවයි. එසේම මෙමගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉහළ යන බවද එම සංවිධානය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මෙම ඖෂධය කොවිඩ්-19 වයිරස ආසාදිතයන්ට ප්‍රතිකාර සඳහා යොදාගත යුතු යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කළ අතර ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වීඩියෝවක් නිකුත් කරමින් මෙම ඖෂධය කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කළ යුතු යැයි අවධාරණය කළේය.

මේ අතර ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් විසින් වයිරසයේ ආරම්භය සහ ව්‍යාප්තිය පිළිබඳව චීනයට චෝදනා කරන පසුබිමක් තුළ ‍‍වයිරසය පිළිබඳව සිදුකරන ඕනෑම පරීක්ෂණයකට රටේ දොරටු විවෘත කිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට ප්‍රශංසා කර ඇත.

නයන තරංග ගමගේ