කොවිඩ් සහනවලට රජය දුන් මුදල් මහ බැංකුව ළඟ තියාගෙන
කොවිඩ් -19 වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය වෙන් කළ රුපියල් බිලියන පනහක මුදලින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෞද්ගලික බැංකු වෙත නිකුත් කර ඇත්තේ රුපියල් බිලියන හයක් පමණක් බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කරයි.
පසුගිය මාර්තු මාසයේදී රජය විසින් හඳුන්වා දුන් ප්රතිමූල්යකරණ පැකේජය මගින් පසුගිය මාස තුනේදී ආර්ථික අපහසුතාවට පත් ජනතාවට සහන සැලසීම රජයේ අරමුණ වූ බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල පැවැසීය.
‘මහ බැංකුව අපිව දැනුවත් කර ඇති ආකාරයට පසුගිය සිකුරාදා වනවිට පෞද්ගලික බැංකුවලට නිදහස් කරල තියෙන්නෙ රුපියල් බිලියන තුනක් විතරයි. ඒක ප්‍රමාණවත් නෑ. ඔවුන් වහාම මෙම ක්‍රියාවලිය නිවැරදි සිදුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා’’
පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා හදිසි කාරක ප්‍රාග්ධන සහ තවත් ණය ලබාදීම වෙනුවෙන් වානිජ බැංකුවලට උපකාර කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ප්රතිමූල්යකරණ පැකේජය හඳුන්වා දුන්නේ පසුගිය මාර්තු 24 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.
මෙම පහසුකම මහ බැංකුව වෙතින් පෞද්ගලික බැංකුවලට සම්ප්‍රේෂණය නොවී තිබියදී අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය සතියේ තවත් රුපියල් බිලියන සියයක් මෙම ප්රතිමූල්ය කරණ පැකේජය වෙනුවෙන් ලබාදීමට අනුමැතිය ලබාදුන්නා.
මේ පිළිබඳව අප කළ විමසීමකදී පෞද්ගලික බැංකු නිලධාරීන් කිහිපදෙනකුම සඳහන් කළේ මහ බැංකුව විසින් අරමුදල් නිදහස් නොකර ගනුදෙනුකරුවන්ට සියයට හතරක පොලිය කාරක ප්රාග්ධනය නිදහස් කිරීම වැනි සහන ලබාදීමේ හැකියාවක් නොමැති බවයි.
නයන තරංග ගමගේ
