News

කොවිඩ් හැදුණත් මව්කිරි දීම නවත්වන්න එපා ලෝක සෞඛ්‍ය සංවිධානය

කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු ව හෝ සැක කළ, මව්වරුන් නොනවත්වා දරුවන්ට මව්කිරි දීම කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය පවසයි.

වයිරසය ආසාදනය වූ මවක වුවද මව්කිරි ලබාදීම කළ යුතු වන්නේ මව්කිරි දීමෙන් දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වන නිසාත් දරුවන්ට වැලඳෙන බොහොමයක් රෝගවලට එරෙහිව ශරීරයේ ප්‍රතිදේහ නිර්මාණය වන නිසාත් බව ඔවුහු පෙන්වා දෙති.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය, ජාත්‍යන්තර ළදරු ආහාර ක්‍රියාකාරී ජාලය (IBFAN) සග එක්ව සම්පාදනය කළ වාර්තාවකින් පෙන්වාදෙන්නේ ළදරු මව්කිරි ආදේශක ප්‍රවාර්ධනයට සමාගම් ක්‍රියාකළද ලොව බොහොමයක් රටවල් එය පාලනය කිරීමට උත්සහ නොකරන බවයි.

කොවිඩ් – 19 වයිරසය මුවාවෙන් ව්‍යාජ ප්‍රකාශ සිදුකරමින් මව්කිරි ආදේශක අලෙවි කිරීමේ යෙදී සිටින සමාගම්වලට එරෙහිව ශක්තිමත් නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවද ඔවුන් මෙහිදී අවධාරණය කරයි. පෙන්වා දෙන පරිදි මව්කිරි නොදෙන ළදරුවන්ට වඩා මව්කිරි දෙන ළදරුවන් මිය යාමේ අවදානම 14 ගුණයකින් අඩුය.

අද වන විට මාස 0–6ක් වයසැති ළදරුවන්ගෙන් 41% කට පමණක් මව්කිරි දෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල්වල එම අගය 2025 වර්ෂය වන විට අවම වශයෙන් 50% දක්වා ඉහළ නැංවීම අරමුණ වී ඇත.

කෙසේ නමුත් කොවිඩ් පැතිර යන අවස්ථාවේදී දරුවන්ට මව්කිරි දෙන මව්වරුන් එය වඩාත් සෞඛ්‍යාරක්ෂිතව අදාළ විෂබීජහරණ ක්‍රමවේද භාවිත කරමින් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වාදෙයි.

 

ශිරන්තනි මානවඩු