News

කොළඹ කොටස් හුවමාරුවත් ඩිජිටල්කරණයට

දුරස්ථකරණය ආරක්ෂා කර ගනිමින් කොළඹ කොටස් හුවමාරුවේ සියලු කටයුතු ඩිජිටල්කරණයට ප්‍රමුඛත්වය ලබාදී පූර්ණ විද්‍යුත් ක්‍රමයකට සිදුකිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය කර ඇත.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ කටයුතු යාවත්කාලීනව අත්හිටුවා ඇති අතර පවත්නා ඇඳිරි නීති තත්ත්වයන් හේතුවෙන් එහි කටයුතු නැවත ආරම්භ කිරීමේ ගැටලු උද්ගතව තිබේ.

ඒ අනුව කොටස් හුවමාරුවේ කටයුතු මෙලෙස ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය පියවර යෝජනා කිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ කොටස් හුවමාරුවේ නියෝජිතයන් ඇතුළත් ඒකාබද්ධ කමිටුවක් පිහිටුවා ඇත.

පසුගිය අප්‍රේල් 30 වැනිදා අදාළ කමිටුව පිහිටුවීමේ පියවර පිළිබඳව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් විසින් කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

 

නයන තරංග ගමගේ