කොළඹ සරසවියේ දේපළ කොල්ල කෑමේ උත්සහයක්
කොළඹ විශ්වවිද්‍යාලයට බලහත්කාරයෙන් කඩා වැදීම, දේපළ අත්පත් කරගැනීම සඳහා දරන අසාධාරණ උත්සාහයන් පරාජය කිරීමට සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම නොපැකිලව මැදිහත් වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එම සම්මේලනය මේ බව සඳහන් කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට අයත් අක්කර දෙකහමාරක පමණ ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ විවිධ පීඨයන්ට අයත් ශිෂ්‍යාවන් 550 කට වැඩි පිරිසකට සහ විශේෂ අවශ්‍යතා සහිත කාන්තා ශිෂ්‍ය විද්‍යාර්ථයින් වෙනුවෙන් නේවාසික පහසුකම් සැපයීමට එම විශ්වවිද්‍යාලය විසින් ඉතා දීර්ඝ කාලයක් පුරා භාවිත කරමින් සිටින කොළඹ 2, මුත්තයියා පාරේ පිහිටි නේවාසිකාගාරය ගොඩනැගිලි සහිත අක්කර 2.5 ක ඉඩම අසාධාරණ සහ අත්තනෝමතික ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කරගැනීමට දරනු ලබන උත්සාහයන් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දැඩි ලෙස හෙළා දකී.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව නේවාසිකාගාර පහසුකම් අර්බුදයකට මුහුණ දෙමින් සිටින තත්ත්වයක් තුළ, කොළඹ විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යන මෙම නේවාසිකාගාරය සහ එහි භූමිය වර්තමාන මෙන්ම ඉදිරි ශිෂ්‍ය ප්‍රජාව සඳහාද තවදුරටත් පහසුකම් වැඩි දියුණු කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කම අදාළ පාර්ශ්වයන්ට අවධාරණය කිරීමටද මෙහිලා අපි කැමැත්තෙමු.
දැනට මාස කිහිපයක සිට නැවත වටයකින් මෙම දේපළ අත්පත් කරගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය දරන උත්සාහයන්ට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාල පරිපාලනය, ආචාර්යවරුන්ගේ සංගම්, ශිෂ්‍ය සංගම් සහ ආදි විද්‍යාර්ථීන් ඇතුළු විවිධ සම්බන්ධිත පාර්ශ්වයන් තම විරෝධය කරුණු සහිතව සහ ලිඛිතව අදාළ පාර්ශ්වයන්ට දන්වා ඇතත්, එම විරෝධතා නොතකා හරිමින් මෙම බලහත්කාරී අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව අප විසින් නිරීක්ෂණය කොට ඇත.
කොවිඩ් – 19 සෞඛ්‍ය අභියෝග හමුවේ විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් බොහෝ දුරට පරිබාහිරව ශිෂ්‍යයන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයන් ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන් කටයුතු කරන මෙවන් අර්බුදකාරී අවස්ථාවක ඔවුන්ගේ සාධාරණ විරෝධතාවන් නොතකා කටයුතු කිරීම තවත් අර්බුද ගණනාවක් ඇතිවීමට හේතුවන්නක් මිස අනෙකක් නොවේ.
