News

ගර්භණී කාන්තාවක් කළුබෝවිල රෝහලට ගෙනයන විට මියගිහින්

හෝමාගම රෝහලට භාර නොගෙන කළුබෝවිල රෝහල වෙත පසුගිය සිකුරාදා යැවූ ගර්භණී කාන්තාවක් රෝහල්ගත කිරීමේදී මියගිය පුවතක් වාර්තා වේ.

මෙම කාන්තාව හදිසි රෝගී තත්ත්වයක් මත හෝමාගම රෝහල වෙත පැමිණි ඇති අතර රෝහල කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති බැවින් එම කාන්තාවට කළුබෝවිල රෝහල වෙත යන ලෙස දැනුම් දී තිබේ.

මෙම කාන්තාව හදිසියේ ඇතිවූ රෝග තත්ත්වයක් හේතුවෙන් හෝමාගම රෝහලට පැමිණ ඇති බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. මේ අනුව ඇය පැමිණි වාහනයෙන්ම නැවත කළුබෝවිල රෝහල වෙත ගෙනගිය බවද එම ප්‍රකාශකයා සඳහන් කරයි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වාගෙන් මේ බව විමසීමේදී ඇය සඳහන් කළේ හෝමාගම රෝහල කොවිඩ් රෝහලක් ලෙස නම් කළද එහි එක් කොටසක් සාමාන්‍ය රෝගීන් සඳහා වෙන් කර ඇති බවයි. මේ වන විට කොරෝනා රෝගීන්ගේ වැඩිවීමත් සමග එම කොටසද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා ගත් බවය.

කෙසේ නමුත් මියගිය ගර්භණී කාන්තාව කළුබෝවිල රෝහල වෙත යැවීමට රෝහලේ ගිලන්රථයක් භාවිත කළ යුතුව තිබුණු බවත් ඇය මියයාමට හේතුව කුමක්ද යන්න පිළිබදව පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව තමා වෙත මෙතෙක් ලැබී නොමැති බවද සඳහන් කළාය.

ශ්‍රියානි විජේසිංහ