ගල්අඟුරු බලාගාරය හදන්න බාහිර නීතිඥ සේවය ඇමැති නවත්වයි
නොරොච්චෝලේ නව ගල් අඟුරු විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා නීති කටයුතු ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 17.5ක මුදලක් වැය කරමින් බාහිර නීතිඥගේ සේවය ලබා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය විසින් ගත් තීරණය විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීරගේ උපදෙස් පරිදි වහා අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත.
දැනට විදුලි බල මණ්ඩලයේ නීති අංශයක් හා නීති නිලධාරින් සිටින බැවින් ඔවුන්ගේ සේවය ලබා ගනිමින් නව බලාගාරයේ කටයුතු සම්බන්ධව නීතිමය කටයුතු පවත්වාගෙන යන ලෙසත් ඇමැතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ.
මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළව ගිවිසුම් ගතවීම්වලදී නීති විශාරදයකුගේ උපදෙස් අවශ්‍යවන බැවින් බාහිර නීතිඥයකුගේ සහය ලබාගැනීමට තීරණය කළ බව මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් විසින් පැවසීය.
ශිරන්තනි මානවඩු
