News

ගල්කිස්ස වැල්ල දිය කරගෙන කුණු රොඩු මතුවෙයි

ලෝක පරිසරය දිනය යෙදී තිබුණ පසුගිය සිකුරාදා (5 වැනිදා) මෙරට පරිසරය පිළිබඳ අසන්නට ලැබුණු පුවත එතරම් සුවදායක නැත.

ගල්කිස්ස දුම්රිය පළ අසල සිට දෙහිවල දෙසට දිවෙන වෙරළ තීරයට විශාල ඝන අපද්‍රව්‍ය තොගයක් එක්වී තිබුණේ මුහුදෙන් ගසාගෙන විත්ය.

වෙරළ ඛාදනයට පිළියමක් ලෙස විශාල වියදමක් දරා මුහුදු වැලි පිරවූයේද මෙම ප්‍රදේශය ආශ්‍රිතවය.

එම වැලි මුහුදට ගසාගෙන යාම නිසා ඊට රටේ අවධානය යොමු විය. ඒ උණුසුම මැකී යන්නට පෙර එම වෙරළ තීරයට මෙසේ කසළ තොග ගොඩ ගැසීම තවමත් ගැටලුවකි.

මින් පෙර කිසිම දිනක සිදුවී නැති මෙම හානිකර බව පිළිබඳ වෙරළ සංරක්ෂණ අධිකාරියේ සභාපති ප්‍රභාත් මනුකිරණ ‘අරුණ’ ට මෙසේ අදහස් දැක්වීය.

‘‘මේ කුණු වෙරළට ගොඩ ගහන්න පටන් ගන්න දවසට පසුදාම අපි මේ සිදුවීම නිරීක්ෂණය කළා. කරුණු රැසක් මේ වෙද්දී අපි හොයාගෙන තියෙනවා.

වෙරළට ගසාගෙන ඇවිත් තිබෙන ඇතැම් අපද්‍රව්‍ය අතර ප්ලාස්ටික් බෝතල්, පාවිච්චි කළ ආහාර ඇසුරුම් ඒ අතර දක්නට ලැබේ. මේවායේ සඳහන් නිෂ්පාදිත දින ඉතා මෑත ඒවා බව සභාපතිවරයා කියා සිටියේය. පසුගිය මැයි මස දාහතර, විස්ස යන දිනයන්හි කැළිකසළ පවා එහි තිබුණි.

වාරකන් කාලයට මුහුද තරමක් රළු වීමත් සමග මුහුදු පතුළේ ඇති අපද්‍රව්‍ය වෙරළට ගසාගෙන ඒම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් මෙලෙස ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍ය වෙරළට ගසාගෙන ඒම එවැනි තත්ත්වයක් නොවේ. එමනිසා මෙම සැකයට තුඩු දෙන කරුණක් බව සභාපතිවරයා සඳහන් කර සිටියි.

මුහුදට ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය වැඩියෙන්ම එකතු කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයෙන්ම අටවැනි ස්ථානය හිමිකරගෙන සිටියි.

ගල්කිස්ස වෙරළට ගොඩ ගැසූ අපද්‍රව්‍ය කුමන ප්‍රදේශයෙන් මුහුදට බැහැර කර ඇත්දැයි යන්න ප්‍රශ්නයකි. එ පිළබඳව සභාපති ප්‍රභාත් බන්දුකිරන් කියා සිටින්නේ මෙවැන්නකි.

‘‘ලංකාවේ රළ ප්‍රවාහය සහ වැලි ප්‍රවාහය ක්‍රියාත්මක වෙන්නේ දකුණේ සිට උතුරට. ඒ නිසා කිසිම සැකයක් නැහැ මේ අනිවාර්යයෙන්ම ගල්කිස්ස මුහුදට උතුරු ප්‍රදේශයෙන් බැහැර කරපු අපද්‍රව්‍ය. මොරටුව මහ නගර සභාවෙන් කොවිඩ් ආධාර විදියට භාණ්ඩ බෙදන්න යොදාගන්නා කවරයක් මෙතනදී දකින්න ලැබුණා. මොරටුව නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා අපිට මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කළා.’’

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

‘‘මොරටුව නගර සභාව කිසිම විදියකින් මහ සාගරයට කුණු බැහැර කරන්නේ නැහැ. අපිට ඉතාම විධිමත් ක්‍රමවේදයක් තියෙනවා කසළ බැහැර කරන්න වගේම ප්‍රතිචක්‍රීකරණය කරන්න. මාර්තු විසිහය වැනිදා බෙදපු බඩු මල්ලක කවරයක් වෙරළටය ගසාගෙන ආ අපද්‍රව්‍ය අතර මෙච්චර ලස්සනට තියෙන්නේ කොහොමද? වරළ සංරක්ෂණ අධිකාරියෙන් තමන්ගේ කාර්යභාරය හරිහැටි කළේ නැහැ කියලයි මම කියන්නේ.’’

වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න සහ පරිසර කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල ඊයේ (7 වැනිදා) ගල්කිස්ස වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්ද මේ පිළිබඳ සොයා බැලූහ.

කලණ වීරසිංහ/දර්ශාන් කානිල් – මොරටුව