News

ගවයන් අතර පැතිරෙන වෛරස් රෝගයක්

ගවයන් අතර පැතිර යන චර්ම වෛරස් රෝගයක් පිළිබඳ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වේ.

පොළොන්නරුව, අනුරාධපුර, මහනුවර ඇතුළු කිරි ගවයින් ඇති කරන ප්‍රදේශ කිහිපයකින් මෙම රෝගය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බව ප්‍රදේශ කිහිපයක පශු වෛද්‍යවරුන් සඳහන් කළේය.

සමේ තුවාල සහ ගැටිති හට ගැනීම, උණ වැනි රෝග ලක්ෂණ මෙම රෝගය වැළඳුණු සත්වයන්ගේ දක්නට ලැබෙන බව වාර්තා වේ.

සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අංශය භාර වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා ප්‍රකාශ කළේ මෙය “ලම්පිස්කින් ඩිසීස්“ යන චර්ම රෝගය බවට හඳුනාගෙන ඇති බවය.

“ලේ උරාබොන මැස්සන්ගෙන් තමයි මේ රෝගය බෝ වෙන්නේ. මේ රෝගය ලංකාවට ආගන්තුක රෝගයක්. ලංකාවේ මීට ඉස්සෙල්ලා දැකලා නැති රෝගයක්. ලංකාවේ මේ රෝගය වාර්තා වුණේ ‍2020 සැප්තැම්බර් මාසයේ. මේ වෛරසය මඟින් ගොඩක් වෙලාවට අපිට දක්නට ලැබෙන ප්‍රධානම දේ තමයි සතුන්ගේ සෑම තැනම ගැටිති හට ගන්නවා. ඒ වගේම මේ සතුන්ගේ උණ හටගන්නවා. නාසයෙන් හා ඇස්වලින් ස්‍රාවයන් හට ගන්නවා. මේ සත්තු කෑම ගන්නේ නෑ කියන්නේ, කිරි ගන්න සතෙක් නම් කිරි නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහළ යනවා. මේ රෝගය ලම්පිස්කින් ඩිසීස් කියන රෝගය බවට හඳුනා ගත්තා. මේ වන විට සියලුම කටයුතු යොදලා තියෙනවා මේ රෝගය බෝ වීම පාලනය කරන්න.“