“ගෑස් නැත්නම් මට කියන්න…” කාංචනා දිල්රුක්ෂි
පසුගිය මාසයේ බංග්ලාදේශයේ ගෑස් මිල දෙවතාවකදී ඉහළ ගියේය. ඒ අතරතුරම දැඩි ගෑස් හිඟයක්ද පැමිණියේය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා ඩකා අගනුවර ප්‍රධාන වීදි රැසක වත්මන් පාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා කීපයක් දැකගත හැකිවිය. ඒ අතර කාන්තාවන් පමණක් සහභාගී වූ සුවිශේෂී විරෝධතාවක්ද විය. එහිදී ඒ කාන්තාවන් විරෝධතාව පළ කලේ ඔවුන්ගේ නිවෙස්වල තිබූ ඇලුමිනියම් මුට්ටි සහ හැඳි රැගෙනවිත් හැඳිවලින් මුට්ටිවලට තට්ටු කරමින් මහා හඬක්ද නංවමිනි. ඔවුන් අවාචිකව එමගින් සංකේතවත් කළේ ගෑස් මිල ඉහළ යාම, ගෑස් හිඟය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා තම නිවෙස්වල කුස්සියේ ඇති මුට්ටි හිස්ව පවතින බවත්, එනිසා ඔවුන් ආහාර පිසගැනීමට නොහැකිව අසරණ වී සිටිනා බවයි.
මේ අතර ඉන්දියාවේද මේ වනවිට ගෑස් මිල සැලකිය යුතු ලෙසින් ඉහළ ගොස් තිබෙන නිසා ඊට විරුද්ධවද එරට බොහෝ ප්‍රාන්තවල පසුගිය දිනවල විරෝධතා පැවැත්විණි. ඉන් එක් විරෝධතාවක් කෙරෙහි බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ අතර, ඊට හේතුවූයේ එක්තරා කාන්තාවන් පිරිසක් ධාවනය වන යතුරුපැදි මත නැග රත්වූ සයිලන්සර් (දුම් බටය) මත රොටී පිළිස්සීමට කටයුතු කිරීමයි. ඒ විරෝධතාවයේ ඇතැම් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයේ බොහෝ ප්‍රසිද්ධ වූ අතර, විරෝධතාව සිදුකොට තිබුණේ ඉන්දියාවේ ඩෙහ්රාඩූන් ප්‍රදේශයේ කාන්තාවන් පිරිසකි.
අසල්වැසි රට රාජ්‍යවල පමණක්ම නොව, මේ වනවිට ශ්‍රී ලංකාවේද ගෑස් මිල ඉහළ යාම සහ ගෑස් හිඟය හේතුවෙන් ජනතාව නොසන්සුන්තාවටත්, අපහසුතාවටත් පත්ව සිටියි. ගෑස් නැත්නම් දර ළිපෙන් හෝ ඒ අඩුපාඩුව පියවා ගැනීමට ගම්බද ජනතාවට හැකිවුවත්, දර ළිප් නොමැති නගරබද ජනතාවට එසේ නොහැකිය. ඔවුන්ට ගෑස් යන්න අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් මේ වනවිටත් ගෑස් ප්‍රශ්නයට සහනදායි විසඳුමක් ලබාදෙන්නට ආණ්ඩුව අපොහොසත් වී තිබේ. එවන් මොහොතක කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ තරුණියක් මෙකී ගෑස් ප්‍රශ්නයට මැදිව එයින් පීඩාවිඳින ගෘහණියන්ට විසඳුමක් ලබා දෙන්නට ඉදිරිපත්ව සිටියි. ඒ ගෑස් ළිපේ ආහාර පිසූ ගෘහණියන්ට රොකට් ළිප නමින් අලුත් ළිපක් හඳුන්වා දෙමිනි.
“මං මේ ළිප මාස කීපයක ඉඳන්ම අත්හදා බලමින් හිටියේ. පසුගිය මාසේ තමයි මං සැමියා එක්ක එකතුවෙලා ළිපේ වැඩ අවසන් කළේ. ඒ නිසා සමාජ මාධ්‍ය හරහා ඔක්තෝබර් මාසේ රොකට් ළිප කියන නමින් ළිප හඳුන්වලා දුන්නා. ඊට දවස් දෙක තුනකට පස්සේ තමයි රටේ ඇතැම් ප්‍රදේශවල ගෑස් හිඟය ඇතිවුණේ. ඒ එක්ක මගේ ළිපට හොඳ ඉල්ලුමක් ඇතිවුණා. මේ වෙනකොට මගේ ළිප් 35ක් විතර අලෙවි වෙලා තියෙනවා. ඒ වගේම ළිප් ඉල්ලලා ඕඩර්ස් ලොකු ප්‍රමාණයකුත් ඇවිත් තියෙනවා.”
27 හැවිරිදි කාංචනාගේ රොකට් ළිප දර භාවිතයෙන් ආහාර පිසිය හැකි ළිපකි. නමුත් ඊට මහා දර ගොඩක් අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ කුඩා දර කැබලි කීපයකි. ඒ හැරුණුවිට ළිප මඟින් සැලසෙන තවත් වාසි බොහෝමයකි.
“කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක සාමාන්‍ය දර ළිපක් වගේ ඇති කියලා. ඒත් එහෙම නෑ. මේ ළිප නිර්මාණය කරලා තියෙන්නේ යකඩ තහඩු යොදාගෙන. ඒ නිසා ශක්තිමත්. අවුරුදු ගාණක් වුණත් කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේමයි පහසුවෙන් තැනින් තැනට අරන් යන්න වුණත් පුළුවන්. ඒ කියන්නේ විනෝද චාරිකාවක් යනකොට වුණත් වාහනේ දාගෙන ගිහින් පහසුවෙන් උයන්න පිහන්න පුළුවන්. මේ ළිපට ලොකු දර ප්‍රමාණයක් ඕනත් නෑ. කුඩා දර කැබලි තිබුණම ඇති. ළිපේ ප්‍රමාණය එක්ක ඒක තියන්න යන්නේ අවම ඉඩක්. අවශ්‍ය ප්‍රමාණයට ගින්දර සැර අඩු වැඩි කරන්න වුණත් පුළුවන්කම තියෙනවා. එළියට ලොකු දුමක් එන්නෙත් නැති නිසා මහල් නිවාසවල ජීවත්වන අයට වුණත් මේ ළිප ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.”
කාංචනා පැවසූ පරිදි ආහාර පිසීමෙන් පසු රොකට් ළිප පිරිසිදු කිරීමක් අවශ්‍යද නැත. ඊට හේතුව වන්නේ දර පිළිස්සී ඉතුරුවන අළු ලිපේ එක්තරා කොටසකට ගබඩාවීමයි. එය ඉවතට රැගෙන පහසුවෙන් ඒ අළු ඉවත්කළ හැකි බවයි ඇය පැවසුවේ.
“මං යූටියුබ් එකේ වීඩියෝස් බලමින් ඉන්දැද්දි තමයි මීට සමාන ළිප් හදන විදෙස් වීඩියෝස් කීපයක් දකින්න ලැබුණේ. ඉතින් අපේ රටටත් ඒ ළිප් ගැළපෙයි කියලා මට හිතුණා. ඊට පස්සේ මං සැමියාටත් ඒ යෝජනාව ගැන කියලා, දෙන්නගේ අදහසුත් එකතු කරලා ළිපක් හදලා බැලුවා. ඒක සාර්ථක වුණා. දැන් පුංචි ව්‍යාපාරයක් විදිහට ඒක මං කරගෙන යනවා.”
රොකට් ළිප් නිර්මාණයේදී එහි සම්පූර්ණ වෑල්ඩින් (Welding) කටයුතු ආදිය සිදුවන්නේද කාංචනා අතිනි. ඒ සියල්ලක්ම ඇයට ඉගැන්වූ බව කියන්නේ ඇයගේ සැමියා ශිරෝන් ප්රසාත්ය.
“අපි තනි ළිපක් දෙන්නේ රුපියල් 8,000ක වගේ මුදලකට. ඩබල් ළිපක් රුපියල් 12,500ක මුදලට දෙනවා. ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි පහසුකමත් අපි සලසනවා. පාවිච්චි කරනකොට මොකක් හරි ගැටලුවක් වුණොත් අපි ඒ ගැනත් බලනවා. ඇත්තටම මේ ළිපේ එහෙම ගැටලු නම් මතුවෙන්නෙත් නෑ.”
ඔබේ ගෙදර උයන්නෙත් මේ රොකට් ළිපකද?
“(සිනාසෙමින්) ඔව්, මං උයන්නෙත් රොකට් ළිපේ.”
කාංචනාගේ රොකට් ළිපට මේ වනවිට ඇතිවී තිබෙන අධික ඉල්ලුම දෙස බැලීමේදී අපට එක් කරුණක් පැහැදිලි විය. ඒ ගෑස් මිල ඉහළයාමත්, විටින් විට මතුවන ගෑස් හිඟයත් කාංචනාට ඉමහත් ආශිර්වාදයක් වී ඇති බවයි.
“මං ළිපවල් විතරක් නෙවෙයි, තව නිෂ්පාදන දෙක තුනක් හදනවා.”
කතාබහ අවසන් කරන්නට ගියත් යළිත් අපට එය දික්ගස්සන්නට සිදුවූයේ කාංචනා කී එම කතාවත් සමඟිනි. පසුව අපට දැනගන්නට ලැබුණේ පහසුවෙන් පොල් ලෙලි ගැසිය හැකි පොල් උලක්, පොල් කැඩීම සඳහා ගස් නැගීමට නොහැකි පුද්ගලයකුට පවා පහසුවෙන් පොල් ගසට නැගිය හැකි පාදයට පළඳන උපකරණයක් මෙන්ම, සුවිශේෂී බාබකියු අවන් (BBQ Ovens) එකක්ද රොකට් ළිපට පෙර ඇය නිර්මාණය කර ඇති බවයි.
“පොල් උල හදලා දැන් අවුරුද්දක් වගේ. ඒකෙ ප්‍රධාන විශේෂත්වය තමයි කවදාවත් පොල් ගෙඩියක් ලෙලි නොගහපු කෙනෙක්ට වුණත් ඒ උලෙන් ඉතාම පහසුවෙන් තත්පර කීපයක් තුළ පොල් ගෙඩිය ලෙලි ගහන්න පුළුවන්. අනෙක තමයි මේ පොල් උල ගේ අස්සේ තියාගෙන වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ උපකරණයේ තියන අතින් ක්‍රියාකරවන හැන්ඩ්ල් එකක් ආධාරයෙන් තමයි පොල් ගෙඩිය ලෙලි ගැහෙන්නේ. මේ වෙද්දි මට ඒ පොල් උලෙන් තත්පර 10කින් වගේ ලොකු පොල් ගෙඩියක් සම්පූර්ණයෙන්ම ලෙලි ගහන්න පුළුවන්.”
රුපියල් 4,500ක් වන ඊටද විශාල ඉල්ලුමක් ඇති බව පැවසූ කාංචනා, එම පොල් උලක් වසර 10කට අධික කාලයක් වුවත් පාවිච්චි කළ හැකි බව පැවසුවාය.
“පොල් ගස් නගින උපකරණ හදලත් මේ වෙද්දි මාස කීපයක් වෙනවා. ගස් නගිනවා කියන්නේ සෑහෙන අවදානම් දෙයක් නිසා ඒ උපකරණය හදනකොට මට ගොඩාක් දේ ගැන සැලකිලිමත් වෙන්න සිදුවුණා. අලුතින් දෙයක් හැදුවම මුලින් ඒක පාවිච්චි කරන්නේ මම. මොකද පිටස්තර අයගේ අතට යන්න කලින් මං ඒකෙන් 100%ක් සෑහීමට පත්වෙන්න ඕන. ඒ නිසා පොල් ගස් නගින උපකරණ හදලත් ඒක මුලින්ම පාවිච්චි කරලා බැලුවේ මං. කිසිම දවසක පොල් ගහකට නැගලා නොතිබුණු එකේ ඇත්තටම ඒක අලුත්ම අත්දැකීමක් වුණා.”
ඉතා ආරක්ෂාකාරීව ඕනෑම උසකින් යුත් පොල් ගසකට නැගීමට හැකි මෙය, කාංචනා ලබාදෙන්නේ රුපියල් 8,000ක් වැනි මුදලකටය.
“මං හදපු බාබකියු අවන් එකත් විශේෂයි. මේ වෙද්දි වෙළෙඳපොළේ තියන බොහෝ අවන්වල මස් පිසිනකොට අපි දෙපැත්ත මාරු කරන්න ඕන. ඒත් මේ අවන් එකේ එහෙම කරන්න ඕන නෑ. ඒක අවන් එක මගින් කරවන්න පුළුවන්. ඒ නිසා ඒකටත් මේ වෙද්දි සැලකිය යුතු ඉල්ලුමක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒක අපි දෙන්නේ රුපියල් 25,000 ක මිලකට.”
මෙවැනි සුවිශේෂී නිපැයුම් නිෂ්පාදනය කරන්නට කාංචනාට අතහිත ලැබෙන්නේ සැමියාගෙනි. ඔහු යුද හමුදාවේ රැකියාවේ නියුතු අතර, දෙදෙනාට දරුවන් දෙදෙනෙකි.
“මේ වෙනකොට රොකට් ළිපට තියෙන ඉල්ලුම එක්ක ඒක තව වැඩිදියුණු කරන්න මං අදහස් කරගෙන ඉන්නවා. ඒ වගේම තවමත් ලංකාවේ ලොකු පිරිසක් මේ ගැන දැනුවත් නෑ. ඒක නිසා සමාජ මාධ්‍යවල උදව්වෙන් ළිප ඇතුළුව මගේ අනෙකුත් නිෂ්පාදන කිහිපයත් මිනිස්සු අතරට මීට වඩා ගෙනියන්න ඕන. මං විශ්වාස කරනවා අනාගතේ දවසක ඒ නිෂ්පාදන අතරින් රොකට් ළිපට හොඳ ඉල්ලුමක් නිර්මාණය වෙයි කියලා.”
රොකට් එකක් පියාසර කරන වේගයෙන්ම ඇගේ රොකට් ළිප ඇතුළු නිෂ්පාදනවලට අපේ රටේ හොඳ ඉල්ලුමක් නිර්මාණය වේවායි ඇයට සුබ පැතූ අපටද ඇය පෙරළා ස්තූති කළ අතර, එහිදී ඈ පැවසුවේ ඇගේ කතාව රටට කියන්නට ඉඩකඩ ලබාදුන් ‘ධරණී’ පුවත්පත ඇයට කිසිදිනෙකත් අමතක නොවෙනු ඇති බවයි.
දුරකථන අංකය – 0758080690
Facebook Page – S&k Art welding
රුවන් එස්. සෙනවිරත්න
