ගුවන් යානා ඉන්ධන ආනයනය ඉහළට
ගුවන් සේවා අංශයේ ඉහළ යනු ඇතැයි අපේක්ෂිත ඉල්ලුම් සැලකිල්ලට ගනිමින් ලබන වසර වෙනුවෙන් ගුවන් යානා සඳහා භාවිත කරන ඉන්ධන (Jet Fuel) ඇණවුම් වැඩි කිරීමට සැලසුම් කරමින් සිටින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල ප්‍රසම්පාදන සැලැස්ම අනාවරණය කරයි. ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන වසරේදී (2021) ගුවන් යානා ඉන්ධන ආනයනය 38.33%කින්, එනම් මෙට්‍රික් ටොන් 593,440 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇත. මීට අමතරව 2022 වසරේදී මෙම ප්‍රමාණය තවත් 7.4%කින්, එනම් මෙට්‍රික් ටොන් 635,820 දක්වා ඉහළ දැමීමටද ඛනිජ තෙල් සංස්ථාව සැලසුම් කර තිබේ.
නිල සංඛ්‍යා ලේඛනවලට අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය දේශීය ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නොවන බැවින් මෙලෙස පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයනය ඉහළ නැංවීමට සංස්ථාවට සිදුව තිබේ. එසේම සංස්ථාවේ පිරිපහදුව වසර 2කට වරක් නඩත්තු කිරීම සිදුකළ යුතුව ඇති අතර එම නඩත්තු කටයුතුද ඉදිරි මාස කිහිපය ඇතුළත සිදුකළ යුතුව ඇත. එම නිසා පිරිපහදු කළ ඉන්ධන ආනයනය සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කළ යුතුව ඇතැයිද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්තා සඳහන් කරයි.
සපුගස්කන්ද පිරිපහදුවේ වර්තමාන නිෂ්පාදනය දිනකට බැරල් 40,000කි. එය දේශීය ඉල්ලුමින් සියයට 25ත් 30ත් අතර ප්‍රමාණයක් පමණක් සැපිරීමට ප්‍රමාණවත් වේ. එම නිසා අවශ්‍යතාවෙන් ඉතිරිය ආනයනය කිරීමට සිදුව ඇතැයිද වාර්තා පෙන්වා දෙයි.
නයන තරංග ගමගේ
