News

චීනෙට විරුද්ධ උද්ඝෝෂණයට ලංකාවේ කවුරුත් නැහැ

ලෝකය පුරා කොරෝනා පැතිර වූවා යැයි ​චෝදනා කරමින් චීනයට විරුද්ධව මෙරට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ඊයේ (10 වැනිදා) සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට එම ව්‍යාපාරයේ කිසිදු පුද්ගලයකු සිටියේ නැත.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

උද්ඝෝෂණකරුවන් පැමිණේ යැයි සිතා බෞද්ධාලෝක මාවතේ පිහිටි මෙරට චීන තානාපති කාර්යාලය ඉදිරිපිට හා ඒ අවට මාර්ගයේ කැරළි මර්දන කණ්ඩායම් ඇතුළු පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සිටිනු දක්නට ලැබිණි.

ඒ හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවිය.

චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඇති දැන්වීම් පුවරු කිහිපයකම පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානයේ උද්ඝෝෂණය කළ නොහැකි බවට අධිකරණ නියෝගය ප්‍රදර්ශනය කර තිබිණි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කර තිබූ එම උසාවි නියෝගයේ සඳහන්ව තිබුණේ කොවිඩ් රෝගය ව්‍යාප්ත වීමේ අවදානම් තත්ත්වය යටතේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් සිදුකරන උද්ඝෝෂණය වහා වැළැක්විය යුතු බවයි.

තවද මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජන් විතානගේ ගෙන් අප විමසුමක් කළද ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

අශිකා ජයවීර