ජල බිංදුවක්වත් නැති පාසල් 582ක් තියෙනවා-ඇමැති ඩලස්
ජලබිඳක පහසුකමක්වත් නොමැති පාසල් 582ක් පවතින බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අැමැති ඩලස් අලහප්පෙරුම පැවසීය.
අපි මේ පිළිබඳව සොයා බලන්නේ දරුවන්ගේ අත් සේදීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දුන් පසුව යැයිද ඇමැතිවරයා කීවේය.
පාසල් යළි විවෘත කිරීමට අදාළව බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (14 වැනිදා) පැවැති වැඩසටහනේදී මේ බව සඳහන් කළ ඇමැතිවරයා පාසල් අටසියයකට අධික සංඛ්‍යාවක සිසුන්ට සුලු දිය පහ කිරීමේ පහසුකමක්වත් නොමැති බවද කීවේය.
තවද බීමට හෝ සෞඛ්‍ය පහසුකමකට පාසල් දරුවකුට ජල බිඳක් නොමැති වීම බරපතළ තත්ත්වයක් යැයිද ඒ මහතා කීවේය.
පරිගණක පහසුකම් ඇති දරුවන්ගේ ප්‍රතිශතය සියයට විසි දෙකක් යැයිද රූපවාහිනී පහසුකම් ඇත්තේ සමස්ත දරුවන්ගෙන් සියයට අසු දෙකකට පමණක් යැයිද ඇමැතිවරයා පැවසීය. එමෙන්ම ගුවන්විදුලියක් ශ්‍රවණය කිරීමේ පහසුකම් නොමැති සිසුන් විශාල පිරිසක් සිටින අතර ඉන් වැඩි පිරිසක් සිටින්නේ උතුරු පළාතේ බවද හෙතෙම කීවේය.
සිසුන් දහයට අඩු පාසල් 123ක් පවතින අතර සිසුන් 200ට අඩු පාසල් සංඛ්‍යාව 5143ක් බවද එහිදී අනාවරණය විය. සිසුන් අඩු බව පාසල් ආරම්භ කිරීමට හැකියාව පවතින බව පළාත් අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කළත් පාසල් ආරම්භ කරන්නේ සියල්ල යහපත් වූ විට පමණක් යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
නිලන්ත මදුරාවල
