ටයර් ආනයනය සීමා ලිහිල් කරන්නැයි ඉල්ලයි
රජය විසින් බලාත්මක කර ඇති ටයර් ආනයනය සීමා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ටයර් වෙළෙඳුන් හා ගැනුම්කරුවන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ද තවත් දින 30ක් ඇතුළත වෙළඳපොළේ දැඩි ටයර් හිඟයක් උද්ගත වනු ඇතැයිද ආසියා ටයර් ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. මේ පිළිබඳව අවධානය යොමු කරමින් කර්මාන්තය ආරක්ෂා කිරීමට මැදිහත්ව ආනයන සීමා ලිහිල් කරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.
ටයර් ඇතුළු නිෂ්පාදන භාණ්ඩ 156ක් අත්‍යවශ්‍ය නොවන ආනයන භාණ්ඩ ලෙස රජය විසින් වර්ගීකරණය කර ඇති අතර විදේශ විනිමය රටින් පිටට ගලා යෑම වැළැක්වීම වෙනුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී එම භාණ්ඩ මෙරටට ආනයනය තහනම් කළේය. අනතුරුව පසුගිය ජූලි මාසයේදී එම වාරණය සීමා යම් තරමකින් ලිහිල් කළ නමුත් අත්‍යවශ්‍ය ටයර් ප්‍රමාණ කිහිපයකටම තවමත් ආනයන සීමා පවතින බව ආනයනකරුවෝ පවසති.
ශ්‍රී ලංකාවේ ටයර් ඉල්ලුමෙන් 50%ක් පමණ දේශීය නිෂ්පාදකයන් නිපදවන නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ පොදු ප්‍රවාහන සේවා සඳහා උපයෝගී කරගන්නා වාහන සඳහා අවශ්‍ය ටයර් වර්ග තවමත් ආනයනය කෙරෙන බව අානයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.
– නයන තරංග ගමගේ –
