News

ණය සහන මුදල් හුවමාරුව ගැන ශ්‍රී ලංකා ඉන්දීය සාකච්ඡා

ණය සහන සහ මුදල් හුවමාරු ගනුදෙනු වැඩසටහන් පිළිබඳව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ පෙළේ සාකච්ඡා පවත්වා තිබේ.

දෙරට අතර පවතින මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් දේශීය ජනමාධ්‍ය වෙත තොරතුරු ලබා දෙමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කරන්නේ ‘පවතින සන්දර්භය තුළ’ ශ්‍රී ලංකාව ඉන්දියාවට ආපසු ගෙවීමට ඇති ණය නැවත සකස් කිරීම හා සාර්ක් විධිවිධාන යටතේ මුදල් හුවමාරුව පිළිබඳ ඵලදායී සාකච්ඡා පවත්වා ඇති බවයි.

මෙම තත්ත්වය පිළිබඳව අන්තර්ජාතික වශයෙන් නායකත්ව මට්ටමින් සලකා බලා ඇති අතර ‘ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරීන්’ විසින් මේ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් මහ කොමසාරිස් කාර්යාල ප්‍රකාශකයන් සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකාවේ අවශ්‍යතා පිළිබඳව දැනට පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව ඉන්දීය මහකොමසාරිස්වරයා පෙරේදා සහ ඊයේ කොළඹ දී ඉහළ පෙළේ සාකච්ඡා පවත්වා ඇති බවත් ප්‍රකාශකයා අවධාරණය කරයි.

මේ අතර ‘අරුණට’ අදහස් පළ කළ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු සඳහන් කළේ ශ්‍රී ලංකාව අයැදුම් කර ඇති ණය සහ ණය සහන පිළිබඳව ඉන්දියාව සමග නිලධාරී මට්ටමින් සාකච්ඡා කිරීම සඳහා දිනයක් තීරණය කිරීම අද (01දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේ දී සිදු වනු ඇති බවයි.

නයන තරංග ගමගේ