News

තරුණ ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක්

වයස අවුරුදු 19ත්-25ත් අතර වයස කාණ්ඩයේ පිරිමි දරුවන් අතර එච්.අයි.වී. ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

දිවයින පුරා වාර්තා වන එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් සියයට 30ක් එම සංඛ්‍යාවට ඇතුළත්ව ඇත. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් මෙම පිරිමි ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව එම වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි පැවසුවාය.

පාසල් පද්ධතියෙන් ඇතිවන පිරිමි-පිරිමි අතර අනාරක්ෂිත ලිංගික හැසිරීම් පිළිබඳ චර්යාවන් පෞද්ගලික පන්ති සහ විශ්වවිද්‍යාල ඇතුළතදී තව තවත් වර්ධනය වීම නිසා එච්.අයි.වී. ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන බව අනාවරණය වී ඇත. ඇතැම් පිරිමින් විවාහ වීමෙන් පසුවද මෙවැනි අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලට යොමුවී ඇත.

විද්‍යාත්මක ප්‍රක්ෂේපණ අනුව 2020 වසර වන විට මෙරට එච්.අයි.වී. ආසාදිතයන් 3600ක් පමණ සායනවල ලියාපදිංචි වී ප්‍රතිකාර ලබා ගත යුතු බව අධ්‍යක්ෂවරිය අනාවරණය කළාය. දැනට 2000කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබේ. ලියාපදිංචි නොවී සිටින ආසාදිතයන් 1600ක් තමන් ආසාදිතයකු බව නොදැනම සමාජයේ අන් අය සමග මුහුවෙමින් සිටීම මගින් නිරෝගී පුද්ගලයන්ටද මෙය ආසාදනය විය හැකි බව ඇය පෙන්වා දෙයි.

මෙම හේතු මත දහවැනි වසරේ සිට ලිංගික අධ්‍යාපනය ලබාදෙමින් එච්.අයි.වී. පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ඇය කියා සිටී.

උදයජීව ඒකනායක
ශිරන්තනී මානවඩු