තෙල් නැවේ ගින්න පාලනය කරයි
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන් කන්ද ආසන්න මුහුදේ ඇති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ(04)පස්වරුවේ පැවසීය.
මේ වනවිට එම නෞකාව ගැඹුරු දියඹට ඇදගෙන යාමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බවද නාවික හමුදාව පැවසීය.
ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ කලාපයේ ගිනි ගනිමින් තිබූ “MT නිව් ඩයමන්ඩ්“ තෙල් නෞකාව, එවැනි ආපදාවට ලක්වූ නෞකා බේරාගනු ලබන ජාත්‍යන්තර සමාගමකට බාර දී තිබේ.
ඒ, එම නැවෙහි ඇති බොර තෙල් සහ ඩීසල් ඉවත්කර ඉන් සමුද්‍ර පරිසරයට විය හැකි හානිය අවම කිරීම සඳහාය.
එසේම එම නෞකාවේ හිමිකාරිත්ව ඇති සමාගමේ නියෝජිතයින් පිරිසක් ලබන සඳුදා (07) දිවයිනට පැමිණීමට නියමිතය.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී, නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය මේ බව තහවුරු කළාය.
පැනමා රාජ්‍යයේ ධජය යටතේ ලියාපදිංචි කර ඇති ග්‍රීක සමාගමකට අයත් මෙම නෞකාව කුවේටයේ සිට ඉන්දියාව දක්වා යාත්‍රා කරමින් සිටිය දී ශ්‍රී ලංකාවේ සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් දුර ගැඹුරු මුහුදේදී ඊයේ (03) පෙරවරුවේ හදිසි ගිනි ගැනීමකට ලක්වුණි.
බොර තෙල් මෙට්‍රික්ටොන් 270,000ක් සහිත ඉතා විශාල ප්‍රමාණයේ නෞකා ඝනයට අයත් මෙම නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කළේය.
නෞකාවේ බොයිලර කාමරයක හටගත් පිපිරීමකින් එක් නැවියෙකු මියගොස් ඇති බව නාවික හමුදාව තහවුරු කළේය.
