News

දැන්විම් පළකර මුදල් වංචා කරන ක්‍රම වැඩිවෙයි

සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළ කර මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි වාර්තාවී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලීසිය පැවසුවේ ලැබී ඇති පැමිණිලිවලට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි.

තායිලන්තයේ රැකියා ඇබෑර්තු ඇති බවට දන්වා සමාජ මාධ්‍ය ජාලය භාවිත කරමින් දැන්වීම් පළ කර මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිළිබඳව බැංකොක්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මහජනයා දැනුවත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලා ඇති බව පොලිසිය පැවසීය.

මෝටර් රථ දිනුම් ඇදීමක් ලැබී ඇති බවට පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව සහ ලොතරැයි දිනුම් ඇදීම් ලැබී ඇති බවට පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව ද පොලීසියට පැමිණිලි ලැබී තිබේ.

සංවිධානාත්මක කණ්ඩායම් සිදුකරන තවත් මූල්‍ය වංචාවක් වන්නේ, ෆේස්බුක් හරහා සම්බන්ධවූ නාදුනන තැනැත්තන් විසින් එවනු ලබන ත්‍යාග පාර්සල් ලබා ගැනීම, ඒවා නිශ්කාශනය කිරීම, රේගුවෙන් භාණ්ඩ හා පාර්සල් නිදහස් කර ගැනීම සඳහා විවිධ බැංකු වෙත මුදල් බැරකරවා ගැනීමයි.

ෆේස්බුක් මිතුරු ඇරයුම් හරහා සිදුකරන විවාහ යෝජනාවලට හසුවී මුදල් වංචා කිරිම් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව පොලීසිය සඳහන් කළේය.

පොලීසිය මහජනතාවට දැනුම් දෙන්නේ, ඉහත පරිදි සංවිධානාත්මක කණ්ඩායම් පුද්ගලයින් රැවටීමට ලක්කර මුදල් වංචා කිරීමේ සිදුවීම් වාර්තාවී ඇති බැවින් මෙවැනි අපරාධවලට හසුවීමෙන් වළකින ලෙසයි.