දැවයෙන් තැනූ චන්ද්‍රිකාවක් ගුවනට යවන්න සැලසුමක්
ලෝකයේ පළමු වතාවට දැවයෙන් තැනූ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට ජපානය සූදානම් වෙයි. චන්ද්‍රිකාවල සුන්බුන්වලින් අභ්‍යවකාශය පිරී යාම මේ වනවිට විශාල ගැටලුවක් බවට පත්වෙමින් ඇති අතර ජපානය දැව චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමට සැරසෙන්නේ මෙම ගැටලුවට විසඳුමක් හැටියට ය.
දැනට භාවිතයේ ඇති චන්ද්‍රිකා ඔවුන්ගේ කාලය අවසන්ව නැවත පෘථිවි වායුගෝලයට ඇද වැටී දැවීයාමේ දී හානිකර අපද්‍රව්‍ය උඩු ගුවනේ ඉතිරි කිරීම මේ වනවිට විද්‍යාඥයන් ඇතුළු බොහෝ පාර්ශ්වවල අවධානයට ලක්ව තිබෙන්නකි. මෙම චන්ද්‍රිකාවලින් ඉතිරි වන සමහර සුන්බුන් පෘථිවිය මතට ඇද වැටීමේ අනතුර ද ඉහළ යමින් තිබේ. නමුත් දැවයෙන් තැනෙන චන්ද්‍රිකා වායුගෝලය සමග ගැටෙද්දී සම්පූර්ණයෙන් දැවී විනාශ වනු ඇති බැවින් ඉහත කී ආකාරයේ ගැටලු මතු නොවනු ඇති බව මේ පිළිබඳ පර්‌යේෂණ කරන පාර්ශ්ව පෙන්වා දෙති.
මෙම දැව චන්ද්‍රිකාව පිළිබඳ පර්‌යේෂණ සිදු කරන්නේ ජපානයේ කියෝටෝ විශ්ව විද්‍යාලය සහ ‘සුමිටෝමෝ ෆොරස්ට්‍රි’ නමැති ආයතනයක් එක්ව ය. මේ සඳහා භාවිත කළ හැකි දැව වර්ග සම්බන්ධයෙන් මේ වනවිට පර්‌යේෂණ ආරම්භ වී තිබේ. මෙම අපූරු චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමට අපේක්‍ෂා කරන්නේ 2023 වසරේ ය.
සහන් වික්‍රමගේ
