P.C.R පරීක්ෂණ සිදු කිරීමේ ගැටලුකාරී තත්ත්වයක්
කොවිඩ් ආසාදිතයන් සොයා ගැනීම සඳහා සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 150000ක් පමණ කඩිනමින් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 5000ක් සිදු කිරීම සඳහා අවශ්‍ය උපකරණ සූදානම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත.
පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු කළද කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම නිසා එම ප්‍රසම්පාදන කටයුතු අතරමග නතර වී තිබුණි. එහෙත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා පොකුරක් බිහි වීම නිසා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමේ ගැටලුකාරී තත්ත්වයකට සෞඛ්‍ය අමාත්‍යාංශය මුහුණ දී ඇති බව වාර්තා වෙයි. එම තත්ත්වය මත නතර කර තිබූ ප්‍රසම්පාදන කටයුතු ද කඩිනම් කර ගුවන් සහ මුහුදු මාර්ග ඔස්සේ පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 150000ක් කඩිනමින් ගෙන්වීමට අමාත්‍යාංශය සැලැසුම් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව කොවිඩ් 19 වයිරසය ආරම්භ වූ මාර්තු 17 දින සිට මේ දක්වා පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් සිදු කර තිබේ.
උදයජීව ඒකනායක
