News

දිස්ත්‍රික්ක හතරක නාය අවදානම තවදුරටත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තවදුරටත් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විසිපහකට නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට එම නිවේදනය වලංගු වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් නිවේදනය නිකුත් කර ඇත.

මෙම නායයෑම් නිවේදනය අද (25 වැනිදා) පස්වරු 2.30 තෙක් බලාත්මකය.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ යන පළාත්වල සහ විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මිලිමීටර් 100ට වැඩි වැසි අද (25 වැනිදා) ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව, නැගෙනහිර සහ උතුරු පළාතේ ස්ථාන කීපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70ක් 80ක් දක්වා වූ තද සුළං ද ඇතිවිය හැකිය.

ඊයේ (24 වැනිදා) පෙරවරු 8.30ත් අවසන් වූ පැය 24 තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ රත්නපුර, කුඩව ප්‍රදේශයෙනි. එය මිලි මීටර් 142.5ක වර්ෂා පතනයකි.

සාලිය කුමාර ගුණසේකර