News

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇබෑර්තු 1844ක්

ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ඇතුළු ස්ථානාධිපති ශ්‍රේණියේ තනතුරු තුන්සිය හැටපහක් (365) ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි පුරප්පාඩු එක්දහස් අටසීය හතළිස් හතරක පමණ ප්‍රමාණයක් පිරවීමට දුම්රිය දෙපාර්තුමේන්තුව අපොහොසත් වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය අවධාරණය කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව මත මෙම පුරප්පාඩු තවදුරටත් පවතින බවත් ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තනතුරු හැටක් අතරින් පනස් නවයකුත්, දුම්රිය ස්ථානාධිපති තනතුරු එක්දහස් දෙසිය හැට හතරක් අතරින් තුන්සිය තිස් හයකුත් පුරප්පාඩු වී ඇතැයි එම සංගමයේ ලේකම් කසුන් චාමර ඊයේ(24 වැනිදා) අරුණ,ට පැවසීය.

දුම්රිය ප්‍රවාහන උප දෙපාර්තමේන්තුව යටතේ පමණක් දුම්රිය ස්ථාන නිවේදක තනතුරු සියයක්, දුම්රිය ස්ථාන සනීපාරක්ෂක සේවකයින් පුරප්පාඩු තුන්සිය විස්සක්, පොලිස්මන් තනතුරු තුන්සිය විසි හතක්, දුම්රිය කාර්ය සහායක තනතුරු තුන්සිය හතක්, පයින්ට්කරු තනතුරු දෙසිය හැත්තෑ තුනක්, බඩු පරීක්ෂක තනතුරු හැත්තෑ දෙකක්, සංඥාකරු තනතුරු අසූවක් වශයෙන් අත්‍යවශ්‍යම තනතුරු පිරවී නැති බවද මේ පිළිබඳ දුම්රිය සාමාන්‍යාධිකාරී සමගින් කරන ලද සෑම සාකච්ඡාවක්ද අසාර්ථක වූ බවත් හෙතෙම කීවේය.

‍මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දුගෙන් අරුණ කළ විමසුමකදී සඳහන් කළේ දුම්රිය සේවයේ මේ ආකාරයෙන් එක්දහස් අටසිය හතළිස් හතරක් අධික පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවය. දුම්රිය ස්ථානාධිපති විශේෂ ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අංශ නිර්දේශ මත ප්‍රවාහන අමාත්‍යාංශය අවසර ලබාදී තිබෙන බවත් ය.

එෆ්. අස්ලම්