News

ධම්මික බණ්ඩාරගේ කොවිඩ් ඔසුවට ආයුර්වේද අනුමැතිය

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද(22) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව තහවුරු කළේය.

ආයුර්වේද කොමසාරිස්වරයා ප්‍රධානත්වය දරන සූත්‍ර කමිටුවේ ප්‍රධාන කාර්ය වන්නේ, දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවසර ලබා දීමය.

පසුගිය දිනවල දී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේදී ඔවුන් ඉදිරියේ නිෂ්පාදනය කළ ඖෂධය ප්‍රමිතියට අනුකූලව සිදුකර ඇති බවට වූ වාර්තාව ද එහිදි ඉදිරිපත් විය.

ඖෂධය මේ වන විටත් දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ආහාර සංඝටකයක් ලෙස ලබාදීමට අනුමැතිය ලබා දී ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේය.

එනිසා ස්වාධීන කැමැත්ත මත ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව ඇති ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය ආචාරධර්ම කමිටුවක් මගින් අනුමත විය යුතු බවත්, අදාළ ආචාරධර්ම කමිටුවට මෙම පරීක්ෂණය පිළිබඳ තොරතුරු හෙට(23) ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඒ අනුව, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාරධර්ම කමිටුවෙන් අනුමැතිය ලැබුණු පසු මෙම පැණිය විද්‍යාත්මක පරීක්ෂණයකට භාජනය කිරීමට බලාපොරොත්තු වන බව රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.