News

නළ ජලයෙහි මොළය කන ජීවියෙක්

‘මොළය කා දමන ක්‍ෂුද්‍ර ජීවියකු’ නිසා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් භීතියට පත්ව සිටියි.

මොළයෙහි බරපතළ ආසාදන ඇති කළ හැකි සහ ඒ ඔස්සේ මරණය පවා කැඳවිය හැකි ක්‍ෂුද්‍ර ජීවියකු මෙම ප්‍රදේශවලට සැපයෙන නළ ජලයෙහි සොයා ගැනීමත් සමග මෙම තත්ත්වය හටගෙන ඇත.

මේ නිසා නළ ජලය භාවිතා කිරීමෙන් වළකින ලෙස මෙම ප්‍රදේශවල ජනතාවට බලධාරීන් උපදෙස් දී ඇති බව වාර්තා වේ. මෙම ක්‍ෂුද්‍ර ජීවියා හැඳින්වෙන්නේ නැග්ලේරියා ෆෝව්ලෙරි යනුවෙනි. ජලයෙහි මෙම භයානක ක්‍ෂුද්‍ර ජීවියා සිටින බැව් සොයා ගැනුණේ ටෙක්සාස්හි ලේක් ජැක්සන් නමැති ප්‍රදේශයේ 6 හැවිරිදි දරුවෙකු එයින් මරණයට පත් වීමෙන් පසුවය.

ටෙක්සාස්හි ප්‍රදේශ 8ක ජනතාවට නළ ජලය පාවිච්චි කිරීමෙන් වළකින ලෙස පසුගිය සිකුරාදා දන්වා තිබිණි. පසුව ප්‍රදේශ 7ක් සම්බන්ධයෙන් එම නියමය ඉවත් කරනු ලැබුවත් ලේක් ජැක්සන් ප්‍රදේශයට දිගටම එය ක්‍රියාත්මක වෙයි. මෙම ජීවියා මොළයට ඇතුල් වන්නේ නාසය ඔස්සේ බව සඳහන් වේ. ජල සැපයුම් විෂබීජහරණය කිරීම සඳහා එහි බලධාරීන් මේ වන විට පියවර ගෙන තිබේ.

මෙම ක්‍ෂුද්‍ර ජීවියා ශරීරගත වූ විට මුලින් ඇති වන රෝග ලක්‍ෂණ ලෙස සඳහන් වන්නේ උණ, අධික හිසරදය, වමනය, ගෙල ප්‍රදේශයේ තදගතිය ආදියයි. එම රෝග ලක්‍ෂණ ඇති වී සතියක් ඇතුළත බොහෝ දෙනකු මරණයට පත්වන බැව් සඳහන් වේ.

සහන් වික්‍රමගේ