නිරෝධායන මධ්‍යස්ථාන දෙකකින් මැලේරියා රෝගීන් අටක් හමුවේ
කොවිඩ් 19 නිරෝධායන මධ්‍යස්ථාන දෙකකින් ගෙවුණු සතියේ දී මැලේරියා රෝගීන් අට දෙනෙක් හමු වී තිබේ. හමුවූ රෝගීන් දඹුල්ල පැල්වෙහෙර සහ මීගමුව (ජෙට්වින්) නිරෝධායන කඳවුරුවලින් හඳුනා ගත් බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවැසීය.
ගෙවුණු සතියේ මෙරටින් හඳුනා ගත් මුළු මැලේරියා රෝගීන් සංඛ්‍යාව දහයකි. දෙදෙනෙකු මීට මාස දහයකට පෙර ඉන්දියාවේ දඹදිව වන්දනාවේ ගොස් පැමිණි පුද්ගලයන් වන අතර ඔවුන්ට මැලේරියා රෝගය වැලඳී ඇති බව හඳුනා ගැනුණි.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට ඊයේ (05දා) දක්වා මෙරටින් මැලේරියා රෝගීන් විස්සක් හඳුනා ගෙන ඇති අතර, නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනා ගත් මැලේරියා රෝගීන්ගෙන් පස් දෙනෙක් දඹුල්ල මහරෝහලේ ද තිදෙනෙකු මීගමුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවැසීය.
මීගමුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් සොයා ගත් රෝගීන් තිදෙනා උගන්ඩාවේ සිට මෙරටට පැමිණි අය වන අතර දඹුල්ල පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් සොයා ගත් රෝගීන් අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ලාංකිකයන් බව වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවැසීය.
සුනිල් රූපසිංහ – පල්ලේපොළ
