නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට නඩු
සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් නිරෝස් ගිලියාස්ට එරෙහිව නීතිපතිවරයා කල්මුණේ මහාධිකරණය හමුවේ නඩු පැවැරීමට නියමිතය.
නීතිපතිවරයා විසින් කපිතාන්වරයාට එරෙහිව ගොනුකරන සියලුම අධි චෝදනාවලට වරදකරු වුවහොත් රුපියල් මිලියන 50ක දඩ මුදලක් ඔහුට ගෙවීමට සිදුවන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
නීතිපති දප්පුල ද ලිවේරාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නිව් ඩයමන්ඩ් නෞකාවේ සිද්ධියට අදාළව ඉකුත් 17 වැනිදා කරුණු වාර්තා කළේය.
එම නෞකාවේ කපිතාන්වරයාට ලබන 28 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසි ද නිකුත් කර තිබේ.
එම නෞකාව පිහිටි මුහුදු තීරය අයත් වන කලාපීය මහාධිකරණය කල්මුණේ වන හෙයින්, එම මහාධිකරණය හමුවේ කපිතාන්වරයාට අධි චෝදනා ගොනු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඉෂාර රත්නකාර
