නීති විරෝධී කහ කිලෝ 807ක් නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ තොගයක් මන්නාරම සහ නොරෝච්චෝලේ වෙරළ තීරයන්හී දී නාවික හමුදා බාරයට ගෙන තිබේ.
වියලි කහ කිලෝ 807කට ආසන්න ප්රමාණයක් මෙලෙස සොයා ගෙන තිබේ.
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් නොරොච්චෝලේ දලුව වෙරළ තීරයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ඩිංගි යාත්රා දෙකක් (02) තුල සඟවා මෙරටට ගෙන ඒමට උත්සාහ කල ගෝනි මළු 14ක් තුල අසුරන ලද වියලි කහ කිලෝ 700කට ආසන්න ප්රමාණයක් මෙලෙස සොයා ගෙන තිබේ.
ඒ සමග කල්පිටිය ප්රදේශයේ පදිංචි අවුරුදු 25ත් 58ත් අතර වයසේ පසුවන සැකකරුවන් සිව් දෙනෙක් නාවික හමුදා බාරයට ගෙන ඇත.
මන්නාරම වංකාලේ වෙරළ ප්රදේශයේ සිදුකළ මුර සංචාරයක දී වෙරළට ගොඩගසා තිබූ සැක සහිත ගෝනි මලු දෙකක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී තෙත බර සහිත කහ කැබලි කිලෝග්රෑම් 107 කට ආසන්න ප්රමාණයක් සොයා ගෙන තිබේ.
නාවික හමුදාව විසින් පසුගිය සති තුනක (03) කාලය තුල අවස්ථා කිහිපයකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 8245 කට අධික ප්රමාණයක් භාරයට ගෙන තිබේ.
