පහ, එකොළහ, දහතුන ශ්‍රේණිවලට අද සිට පාසල්
මාස තුනකට අධික කාලයකට පසු පහ, එකොළහ සහ දහතුන යන ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් පාසල් අද (06වැනිදා) ආරම්භ කෙරේ. උසස් පෙළ හා එකොළහ ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් පාසල් සවස 3.30 දක්වා පැවැත්වෙන අතර පහ ශ්‍රේණි දරුවන් වෙනුවෙන් පාසල පැවැත්වෙන්නේ සවස 1.30 දක්වා පමණි.
අවශ්‍ය නම් එම කාලය දීර්ඝ කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. දරුවන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම වෙනුවෙන් පාසලේ සියලුම ස්ථාන ඉගැන්වීම් කටයුතු සඳහා යොදා ගන්නා ලෙස ද අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.
පාසලේ දී සිසුන් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර තිබේ. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් චන්ද්‍රසේකර ප්‍රකාශ කරන්නේ පාසල්වලට පැමිණීමේ දී හා පිටවීමේ දී සිසුන් මුඛ ආවරණ පැලඳිය යුතු බව ය. එමෙන්ම සියලු ගුරුවරුන් සවස 3.30 දක්වා පාසලේ රැඳී සිටීම අවශ්‍ය නොවන බවත් ඉගැන්වීම් අවසන් වීමෙන් පසු ගුරුවරුන්ට පාසලෙන් බැහැර වීමට අවස්ථාව ලබා දිය යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.
පාසල් ආරම්භ කිරීමේ පළමු අදියර ලෙස ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා පාසල් විවෘත වූයේ ඉකුත් 29 වැනිදා ය.
අද දෙවැනි අදියර වන අතර තෙවැනි අදියර ලෙස දහය සහ දොළහ ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් ලබන 20 වැනිදා පාසල් විවෘත කෙරේ.
නිලන්ත මදුරාවල
