News

පළඟැටියා මර්දනයට මයිනා

දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන කහතිත් පළඟැටියා මර්දනය කිරීම සඳහා සුලබ පක්ෂියෙක් වන ‘‘මයිනා’’ ස්වභාවික විලෝපිකයකු බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් පැවැසීය.

කහතිත් පළඟැටියාගේ වර්ධනයට සුදුසු පරිසර තත්ත්වයක් පැවතීම නිසා, දිවයිනේ තැනින් තැන පළඟැටියාගේ වර්ධනය සිදු වී ඇතැයිද එය සාමාන්‍ය තත්ත්වයක් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

මෙම පළඟැටියාගෙන් බෝග වගාවට විශාල හානියක් සිදු වී ඇති බව තවමත් වාර්තා වී නැත. ඔහු මෙම පළඟැටි ගහනය පාලනය කිරීම සඳහා කෘමිනාශක ඉසීම ද කරයි.

එහෙත් පළඟැටියා මර්දනය කිරීමේ ඉතා හොඳ විලෝපිකයකු ලෙස මයිනා හඳුනාගෙන ඇත. නමුත් මාවතගම ප්‍රදේශයේ මයිනන් දක්නට නොලැබෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ රිළවුන් විසින් මයිනා, ගිරවා ආදී කුරුල්ලන්ගේ කූඩු සහ බිත්තර විනාශ කිරීමය. මේ නිසා කුරුලු ගහනය අඩු වී ඇතැයි ද පැවැසේ.

සාලිය කුමාර ගුණසේකර