ප්‍රතිදේහ ජනකවලට පසු ප්‍රතිශක්තික රසායනවේදයක් එයි
කොවිඩ් – 19 වයිරසය ආසාදනය වූවන් කඩිනමින් සොයා ගැනීම සඳහා ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කිරීමෙන් පසු ප්‍රතිශක්තික රසායනවේද ප්‍රතිදේහ පරීක්ෂණයද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.
ප්‍රතිශක්තික රසායනවේද ප්‍රතිදේහ පරීක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියක කට්ටලද අනුමත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබා දී ඇත.
අහඹු ලෙස කොවිඩ් රෝගීන් සොයා ගැනීම සඳහා ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සහ ප්‍රතිශක්තික රසායනවේද ප්‍රතිදේහ පරීක්ෂණ ලෝක සෞඛ්‍ය සංවිධානයද අනුමත කර තිබේ. ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය ප්‍රතික්‍රියක කට්ටල ලක්ෂ දෙකක් කොරියාවෙන් ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම පරීක්ෂණය පෞද්ගලික රෝහල්වල පසුගිය සිකුරාදා (06) සිට ක්‍රියාත්මක වෙයි. ඉදිරි කාලය තුළදී මෙම පරීක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියක කට්ටල ලක්ෂ අටක් මෙරටට ආනයනය කිරීමට නියමිතය. විනාඩි 20ක් වැනි කෙටි කාලයක් තුළදී පරීක්ෂණ වාර්තාවද නිකුත් කිරීමට මෙහිදී හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පවසයි.
කෙසේ වෙතත් මෙම පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රමවේදය සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අදාළ පාර්ශ්වවල මැදිහත්වීමෙන් හෙට (09) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතය. මෙම සාකච්ඡාව සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිලධාරීන් හා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ නියෝජිතයන්ද එක්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ පළමු අදියරේදී සැක සහිත අවදානම් කලාපවල ආශ්‍රිතයන් සොයා ගැනීම සඳහා භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අවධානය යොමු වී තිබේ. එහිදී අහඹු ලෙස සිදු කරන පරීක්ෂණවලට ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ ක්‍රමවේදය භාවිත කරයි. තවද දිවයින පුරා රෝහල්වල සායන හා ශල්‍යකර්ම සිදු කිරීමට පැමිණෙන රෝගීන්ගෙන් ආශ්‍රිතයන් සොයා ගැනීම සඳහාද ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණය භාවිත කිරීමට අමාත්‍යාංශ අවධානය යොමු වී තිබේ. මෙම පරීක්ෂණ ක්‍රමවේදය පිළිබඳ සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (06) සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැති හමුවකදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
උදයජීව ඒකනායක
