News

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට සහභාගී වීමට හැකි වේවිද ?

 

මේ වන විට මරණිය දණ්ඩනය නියමවී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුව නියෝජනය සඳහා අවසර දෙන ලෙස බන්ධනාගාර ජනරාල්වරයා වෙතට අතුරු නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය ලබන සඳුදා (07) ප්‍රකාශයට පත්කරණ බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත.

අද දින (04) ප්‍රේමලාල් ජයසේකර මහතා ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා.

එහි දී පාර්ලිමේන්තු ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළා.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු ඉදිරිපත් කළා. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කළා.

තවද ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල පවසා ඇත.