පානදුරේට ආව තල්මසුන්ගේ ජීවිත අවදානමේ
පානදුර වෙරළ කලාපයට පැමිණි තල්මසුන් අතරින් තවත් තල්මසුන් මියයෑමේ හැකියාවක් පවතින බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (නාරා) සඳහන් කරයි.
පානදුර වෙරළ කලාපයට පැමිණි තල්මසුන් කණ්ඩායමේ තල්මසුන් හයදෙනකු පමණ මියගොස් ඇත. ඒ පෙරේදා (4 වැනිදා) මියගිය දෙදෙනාද සමගය. ඊට පෙර එම තල්මසුන්ගෙන් 4 දෙනකු මියගොස් තිබිණි.
ඇමෙරිකාව විසින් මුහුදු කලාපයේ සිදු කරන යුද අභ්‍යාසයක් හේතුවෙන් මෙම තල්මසුන් කණ්ඩායම මෙරට වෙරළ කලාපයට පැමිණෙන්නට ඇතැයි පරිසරවේදීහු සැක පළකරති.
තල්මසුන්ගේ සිරුරුවල තුවාල දක්නට ලැබුණු අතර,ගල් පරවල වැදීමෙන් හෝ වැලි වලට සීරීමෙන් මෙම තුවාල සිදු වන්නට ඇතැයි ජාතික ජලජ සම්පත් පර්යේෂණ සංවර්ධන ආයතනය පවසයි.
මෙලෙස තල්මසුන් මියයෑමට යම් ආහාරයක් බලපෑවාදැයි සොයා බැලීම සඳහා එම ආයතනය විද්‍යාගාර පරීක්ෂණයක් අරඹා ඇති අතර, ඊට අවශ්‍ය සාම්පලද මියගිය තල්මසුන්ගෙන් ලබාගෙන ඇත.
සාලිය කුමාර ගුණසේකර
