News

පාසල් ප්‍රාථමික අංශ විවෘත කිරීම ළඟදීම

දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ සහ පෙර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් ඉදිරි සති දෙකක කාලය ඇතුළත ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසීය.

ඇමැතිවරයා කියා සිටියේ දිවයිනේ පාසල් දසදහස් එකසිය හැටපහෙන් මේ වනවිට ආරම්භ කර ඇත්තේ පාසල් පන්දහස් එකසියයක් පමණක් බවයි.

ඒ අනුව මේ වනවිට ආරම්භ කර ඇති එම පාසල් පන්දහස් එකසියයේ එක්වැනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වාවූ ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීම එළැඹෙන ජනවාරි මාසයේ ප්‍රථමයෙන් සිදුකරන බව මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.

ඔහු මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (14 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී අදහස් දක්වා සිටි ඇමැතිවරයා පැවසුවේ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත පෙර පාසල් සහ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ වන්නේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට යටත් වෙමින් බවය.

උපකාරක පන්ති යළි ආරම්භ කිරීම පිළිබඳවද ඉදිරියේදී නිශ්චිත දිනයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවත් එම පන්ති ආරම්භ වන්නේද සියලු දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව බව හෙතෙම පැවසුවේය.

අශිකා ජයවීර