පාසල් සිසුන්ට ටැබ් දෙන්න හොඳම කාලෙ මේක
කොරෝනා තත්ත්වය අවසන් වන දිනයක් කිව නොහැකි නිසා පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දිය හැකි හොඳම කාලය මෙය බව හිටපු අධ්‍යාපන ඇමැති , එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඊයේ (15 වැනිදා) ප්‍රකාශ කළේය.
ටැබ් පරිගණක ලක්ෂ තුනක් මිලට ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ රජය විසින් රුපියල් මිලියන පන්දහසක් වෙන් කළ බව කී හෙතෙම තමන් ඒවා ඇණවුම් කළ බවද කීය.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවද ඇණවුම් කළ පරිගණක දැනට උසස් පෙළ දරුවන් සඳහා හෝ ලබා දිය යුතු බවද කී හිටපු අධ්‍යාපන ඇමැතිවරයා එවිට දරුවන්ට ඉතාම වේගයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යා හැකි බවද කීය.
“අලුතින් කරන්න කිසිම දෙයක් නැහැ. මේ වන විට ලක්ෂ තුනකට ආසන්න ටැබ් පරිගණක ලබා ගන්න සියල්ල සූදානම් කරලා ගිවිසුම් අත්සන් කරලා ඒ වෙනුවෙන් මුදල් මිලියන පන්දහසක් වෙන් කරලා තියෙනවා. වයි ෆයි සම්බන්ධතාවය විතරයි ලබා දෙන්න තියෙන්නේ. මා අධ්‍යාපන ඇමැතිවරයාගෙනුත් රජයෙනුත් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ සලකා බලා කටයුතු කරන්න කියලා” යැයිද ඔහු ප්‍රකාශ කළේය.
අජිත් අලහකෝන්
