පිරිමි දරුවෙක්ට පහරදුන් විදුහල්පතිවරයාට දුන් දඬුවම
පිරිමි දරුවෙකු කෲරත්වයට පත්කළ විදුහල්පතිවරයෙකුට දෙවසරක් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියමකර ඇත.
2013 වර්ෂයේ දී පහරදී කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් විමර්ශන සිදුකර තිබේ. ඒ වන විට දරුවාගේ වයස අවුරුදු 12ක් බව පැවසෙනවා.
කොළඹ ප්රදේශයේ පුද්ගලයෙක් වන 52 හැවිරිදි සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව, නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමෙන් පසුව, චූදිතයා විසින් ම තමා වරදකරු බවට පිළිගෙන ඇත.
වරද පිළිගැනීමෙන් අනතුරුව, අධිකරණය වසර 2ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කර, වසර 5කට අත්හිටුවා ඇති අතර, රු. 5000/=ක දඩ මුදලක් ද ගෙවීමට ද නියම කර තිබේ.
එම දඩ මුදල නොගෙවන්නේ නම්, මාස 3ක සිර දඬුවම් නියම කර ඇති අතර, මෙම නඩුවේ වින්දිත බාලවයස්කාර පිරිමි දරුවාට රු. 25,000/=ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කර ඇත.
එම වන්දි මුදල වින්දිත දරුවාට නොගෙවන්නේ නම්, වසරක සිරදඬුවම් ලබා දීමට ද නියම කර ඇතැයි ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති, මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කරනවා.
