පිළිකා ඖෂධ ටෙන්ඩර් මගඩියකින් රජයට මිලියන සියයක් පාඩු වෙලා
පිළිකා සහ වකුගඩු රෝගීන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධයක් සැපයීම සඳහා ඉදිරිපත් වූ අඩු මිල ටෙන්ඩරය ඉවත දමා වැඩි මිලක් ඉදිරිපත් කළ සැපයුම්කරුවෙකුට ටෙන්ඩරය ලබා දීම නිසා රුපියල් මිලියන සියයක මුදලක් රජයට අහිමි වී ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.
රතු රුධිරාණු වර්ධනය කිරීම සඳහා ලබා දෙන මෙම ඖෂධයේ එක් එන්නත් කුප්පියක් රුපියල් 199.03කට සැපයීමට ඉදිරිපත් වූ ටෙන්ඩරය නොසලකා හැර ඇත. ඒ වෙනුවට එක් කුප්පියක් ඇමෙරිකානු ඩොලර් 34.79කට (රුපියල් 6333.00 කට ආසන්න මිලකට) සැපයීමට ඉදිරිපත් වූ සැපයුම්කරුගෙන් 2018 දී සහ 2019 දී එන්නත් කුප්පි දහසය දහසක් මිලට ගෙන ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.
පළමු අවස්ථාවේ දී එන්නත් කුප්පි හත්දාහසක් සහ දෙවැනි අවස්ථාවේ දී එන්නත් කුප්පි නවදහසක් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන එකසිය එකක් වැයකර ඇත. එහෙත් රුපියල් 199.03 බැගින් මිලට ගත්තේ නම් වැය වන සම්පූර්ණ මුදල රුපියල් මිලියන තුනයි දශම එකක් බවද ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මිලි ලීටර් ප්‍රමාණ කීපයකින් මෙම ඖෂධ කුප්පි මෙරටට ගෙන්වන අතර එම ප්‍රමාණයන් ලියාපදිංචි කර ඇත. එහෙත් වැඩි මුදලක් ගෙවා මිලට ගත් ඖෂධ කුප්පියේ ප්‍රමාණය මෙතෙක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර නැතැයි ද පැමිණිල්ලේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කළේය. අධිකාරියේ සභාපති වෛද්‍ය අසිත ද සිල්වාගෙන් ඒ පිළිබඳ විමසීමට අප කිහිපවරක් දුරකතනය ඔස්සේ උත්සාහ කළද සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
අජිත් අලහකෝන්
