News

පූර්ණ කාලීන සේවකයින්ට අප්‍රේල් වැටුප අනිවාර්යයි

අප්‍රේල් මාසයේ පූර්ණකාලීනව සේවය ලබාගත් සියලු සේවකයන්ට වැටුප් ලබා දීමට සේවායෝජකයින් කටයුතු කළ යුතු බව කම්කරු කොමසාරිස් ජනරාල් ආර්.පී.ඒ. විමලවීර පැවැසීය.

එවැනි සේවකයන්ට වැටුප් ලබා දී නොමැති නම් ඒ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිළි කරන ලෙස ද හෙතෙම කීවේය.

කොරෝනා වෛරසය හේතුවෙන් සේවයට වාර්තා නොකර නිවෙස්වල රැඳී සිටින සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් යෝජනාවලියක් කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු කීවේය.

කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක් වූ පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමේ කාලය මේ මස 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. එම කාලය අවසන් වීමට නියමිතව තිබුණේ පසුගිය 03 වැනිදායි.

නයන තරංග ගමගේ / අශිකා ජයවීර