පෞද්ගලික බස් ගැටලුවලට ජනපතිගෙන් උපදෙස් රැසක්
ජනතාවට ගුණාත්මක සේවයක් සපයන අතර, පෞද්ගලික බස් ව්‍යාපාරයද ක්‍රමවත්ව ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.
පෞද්ගලික බස් රථ හිමියන් මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් ඊයේ (08 වැනිදා) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
බස් රථ ධාවන කාලසටහන් පිළිබඳව පවතින දිගුකාලීන ගැටලුව පුළුල්ව විමර්ශනය කොට ජාතික ගමනාගමන කොමිසම, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ඒකාබද්ධ ධාවන කාලසටහනක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී උපදෙස් දුන්නේය.
දෛනිකව සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් දිනකට පුද්ගල මරණ හතක් පමණ සිදුවන බව පොලිසිය පැවසීය.
ඉන් බොහොමයකට පෞද්ගලික බස්රථද වගකිව යුතු බව පෙනී ගොස් ඇති බැවින් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කර අනතුරු අඩු කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.
විවිධ හේතු මත ඇතැම් පිරිස්වලට මුදල් ගෙවීමට පෞද්ගලික බස්රථ හිමියන්ට සිදුව ඇතැයි බස්රථ සංගම් පෙන්වා දුන්නේය. එවැනි ගෙවීම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට පැවසීය.
ගමනාගමන මණ්ඩල බස්රථවලට සේම, පෞද්ගලික සහ පාසල් බස්රථවලට වෙනම වර්ණ තිබීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
කොවිඩ් -19 මර්දනයට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් ආසන සංඛ්‍යාවට පමණක් මගීන් සීමා කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මගී සංඛ්‍යාව සීමා කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා අරඹන වේලාව සංශෝධනයටද තීරණය විය.
මගී සුව පහසුවට ප්‍රමුඛත්වය දෙමින් ඉහළ ප්‍රමිතියෙන් යුත් බස් ධාවනයකට එක් කිරීමට තීරණය කෙරිණි.
