News

පොලිස් නිල සුනඛ වෙන්දේසියක්

ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ අංශය විසින් සුනඛ වෙන්දේසියක් පෙරේදා (15දා) මහනුවර පිහිටි නිල සුනඛ මූලස්ථානයේ මෙම වෙන්දේසිය සඳහා සුනඛයන් විසිපස් දෙනකු ඉදිරිපත් කර තිබූ අතර මෙයින් බොහෝ දෙනා වසර 10ක් පමණ වූ සුනඛයන් බව නිල සුනඛ අංශයේ නිලධාරීන් විසින් සඳහන් කළේය.

මෙම වෙන්දේසියේදී බ්‍රිඩ් නමැති Labrador වර්ගයේ සුනඛයා රුපියල් එක්ලක්ෂ එක්දහසකට (101000/-) අලෙවි වීම විශේෂත්වයක් විය. 2018-06-18 උපත ලද මෙම සුනඛයා පරිත්‍යාගයක් ලෙස පොලිස් නිල සුනඛ අංශයට ලැබී ඇති අතර මෙම සුනඛයා පොලිස් රාජකාරි සඳහා අවශ්‍ය පරිදි පුහුණු කිරීමට නොහැකිවීම මත මෙසේ වෙන්දේසි කිරීමට තීරණය කර ඇත.

මීට අමතරව සිම්බා නමැති සුනඛයා රුපියල් 50,000කටද රෙක්ස් නමැති සුනඛයා රුපියල් 23,000කටද රෙජි නමැති සුනඛයා රුපියල් 17,500කට සහ ලිලී සුනඛයා රුපියල් 16,000ක් වැනි මිලකට වෙන්දේසි වී ඇති අතර එම වෙන්දේසියේදී අවම මුදලකට වෙන්දේසි වී ඇත්තේ හි‌රෝ නමැති සුනඛයායි. ඒ රුපියල් 1,100ක් වැනි මුදලකටයි.

මෙම සුනඛ වෙන්දේසියට ඉදිරිපත් කළ සුනඛයන් 25දෙනාම වෙන්දේසි කිරීමෙන් රුපියල් 315800ක් පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.

පොලිස් නිල සුනඛ අංශයේ රාජකාරි කිරීමේදී දිවයිනේ විවිධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට හා විවිධ ආරක්ෂක කටයුතු, නැතිවූ පුද්ගලයන් සොයා ගැනීමට සුවිශේෂී මෙහෙයක් ඉටු කළ එහෙත් වයසට යාමත් සමග තවදුරටත් සේවයේ යෙදිය නොහැකි සුනඛයන් රැසක්ම වෙන්දේසියේදී පැමිණ සිටි පිරිස් මිලදී ගනු ලැබූහ.

එම සුනඛයන් අතර මීමුරේ ප්‍රදේශයේදී අතරමං වූ ළමුන් සොයා ගත් රෙජී නමැති සුනඛයා මෙන්ම ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ගංජා ජාවාරම්කරුවන් හා අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට සහාය වූ රෝසි නමැති සුනඛයාත් දකුණු පළාතේ විවිධ අපරාධකරුවන් මෙන්ම මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සහය වූ බම්පර් නිරෝෂ් හා අජා යන සුනඛයන් මෙන්ම පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට දක්ෂතා දැක්වූ ජෙසි, සිසි, රෙක්ෂ් වැනි සුනඛයන්ද සිටි බව මහනුවර නිල සුනඛ කොට්ඨාසය සඳහන් කළේය.

මෙම සුනඛ වෙන්දේසිය මහනුවර පොලිස් අධිකාරි යූ.බී. පලිහවඩනගේ හා මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.පී. කුලසේකර හා උප පොලිස් පරීක්ෂක පී.ජී.එස්.එම්. විජේසිංහ සහ මෙම ඒකකයේ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම නිල සුනඛයන් ලබා ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පිරිස් පැමිණ සිටිනු දක්නට ලැබිණි.

කමල් සුරවීර -මහනුවර