පොලීසියට පහරදුන් සැකකරුවන් 6ක් අත්අඩංගුවට
අගුලාන පොලිසිය ඉදිරි පිට ඇති වු නොසන්සුන්තාවයට සම්බන්ධ බව කියන පුද්ගලයින් හයදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් අය අතරට කාන්තාවන් තිදෙනෙකු ද ඇතුළත් වන බව පොලීසිය පැවසීය.
අද පස්වරුවේ පුද්ගලයින් පිරිසක් විසින් අඟුලාන පොලීසියට එල්ල කල ගල් මුල් ප්රහාරයකින් පොලීසියේ ජනේල් වීදුරු වලට, නාම පුවරුවට සහ වාහන කිහිපයකට ද හානි සිදුවී තිබේ.
තත්ත්වය පාලනය කිරීම සදහා පොලීසිය කදුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ.
ඉන අනතුරුව පොලිස් විශේෂ කාර්යය බලකාය ද කැදවීමට පොලීසියට සිදුවිය.
පසුගිය 10 වැනිදා රාත්රීයේදී පොලිස් වෙඩි පහරින් මියගිය අමිත් කරුණාරත්න නැමැති හත් දරු පියාගේ නඩු විභාගය අද දින මොරටුව මහේස්ත්රාත් අධිකරණයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.
අද උදෑසන 5 ට පමණ පැමිණි පොලිස් නිලධාරින් පිරිසක් ධීවරයා මිය යාමේ සිද්ධියේ ප්රධාන සාක්ෂිකරුවන් දෙදෙනාව ජීප් රථයකින් රැගෙන ගොස් තිබේ.
පොලිස් නිලධාරින් විසින් ගල්කිස්ස සහ මොරටුමුල්ල පොලිස් ස්ථාන වෙත රැගෙන ගොස් තිබූ එම සාක්ෂිකරුවන් දෙදෙනා පසුව අඟුලාන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබූ බව ගම්වාසීන් පවසයි.
අනතුරුව, ප්රදේශවාසීන් විශාල පිරිසක් යළිත් අද පස්වරු 3ට පමණ අඟුලාන පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත විය.
එහිදී කලහකාරී ලෙස හැසිරුණ විරෝධතාකරුවන් පොලිස් ස්ථානය දෙසට ගල් මුල් ප්රහාරද එල්ල කළේය.
