පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේ සූදානමක්
රටේ විදුලි කප්පාදුවක් කරමින් ආණ්ඩුව සැලසුම් සහගත ලෙස පෙරේදා (17 වැනිදා) පැය හයක කාලයක් රට අඳුරේ තැබීමට කටයුතු කළ බව සමගි ජන බලවේගය චෝදනා කරයි.
ඊයේ (18 වැනිදා) එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී තේරී පත්වූ මන්ත්‍රී චමින්ද විජේසිරි මෙම චෝදනාව එල්ල කළේය. මෙම සැලසුම ක්‍රියාත්මක කර ඉදිරියේදී පෞද්ගලික අංශයෙන් වැඩි මිලට හදිසි විදුලි මිලදී ගැනීම් සිදු කිරීමටද ආණ්ඩුව සූදානම් වන බව මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
‘‘මේ ආණ්ඩුවේ ඇමැතිවරයා වැඩ භාරගත් දවසේම රට අඳුරේ තැබීමට කටයුතු කිරීම පිළිබඳව යම් විමතියක් තියෙනවා. මේක හිතාමතා සිදුකළ සිදුවීමක්.
අපේ රටේ සාම්ප්‍රදායික ක්‍රමවේදය අනුව ඉදිරි මාස කීපයේදී විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිතයි. එහිදී හදිසි විදුලි මිලදී ගැනීමක් සඳහා වූ පණිවුඩයක් රටේ ජනතාවට ලබාදීම සඳහා තමයි මේ විදුලිය කැපීම සිදුකළේ. ආණ්ඩුව ඒ උත්සාහය අතිසාර්ථකව ඊයේ (18 වැනිදා) දිනයේදී ක්‍රියාත්මක කළා.
දැන් ආණ්ඩුව හොර රහසේ විසන්ධිකරණයක් විතරක් නෙමෙයි, හොර රහසේ පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීම වෙනුවෙන් මිලදී ගැනීම් සිදුකරන්න සූදානම් වෙනවා. ඒකට ඊයේ පැය හයකට ආසන්න කාලයක් රට අඳුරේ තැබුවා. දැන් කමිටු පත් කරලා ඒකට මොකද වුණේ කියල හොය හොයා ඉන්නවා. අපි දන්නවා මොකද වුණේ කියලා. ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිද්ධ වේවි. ඒ අතරතුර විවිධ ආකාරයෙන් අයථා ලෙස නැවත වතාවක් විදුලිය මිලදී ගැනීමේ සූදානමක් ගැනත් කියවෙනවා.
