News

බන්ධනාගාර’ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලා යාමට තැත්කළ රැඳවියන් 11 මාට්ටු

කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් 11 දෙනෙකු පැරණි බෝගම්බර බන්ධනාගාරය තුළදී දැඩි ආරක්ෂිත රැකවල් යටතේ රැඳවීමට පියවර ගෙන ඇත.

බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ රැඳවියන් සිය දෙපාර්තමේන්තුවේ ත්‍රිපුද්ගල විනිශ්චය මඩුල්ල හමුවට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රැඳවියන් 11 දෙනෙකු පෙරේදා පැරණි බෝගම්බර බන්ධනාගාරයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලා යාමට උත්සහ දරා තිබේ. මොවුන් මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රැඳවියන් පිරිසක් බව සඳන් වේ.

සිය ඇලුමිනියම් පිගාන තියුණු ආයුධයක් සේ සකසා බන්ධනාගාර නිලධාරියෙකු බිය වද්දමින් පලා යාමට තැත් කර ඇත.

මෙහිදී ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරියා රැඳවියන් සමග පොරබැද ඇති අතර, තත්ත්වය පාලනය සඳහා සෙසු නිලධාරීන් ද, ක්‍රියාත්මක වී ඇත.

බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කරන්නේ ඒ මොහොතේ ආරක්ෂිත මුර කුටිවල සිටි නිලධාරීන් අහසට වෙඩි තැබිමක් ද සිදුකර ඇති බවකි.

ඇති වූ උණුසුම් තත්වය පාලනය සඳහා ක්‍රියාකළ බන්ධනාගාර නියාමකවරයා සුළු තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර මේ වනවිට රෝහලින් පිටව ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇත.