කතුවැකි

බල්ලා අපට අයිතියි මලමුත්‍ර ආණ්ඩුවට අයිතියි

මීගමුව ප්‍රදේශයේ නිවසක සුනඛයකුට කිසියම් අයකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය පසුගිය දිනවල සත්ත්ව ප්‍රේමීන්ගේ පමණක් නොව සංවේදී හදවත් ඇති සියලු දෙනා කම්පනයට පත් කළ සිදුවීමක් විය. සුනඛයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාව එල්ල වූයේ හිටපු පොලිස් නිලධාරියකුටය. දැන් ඒ පිළිබඳ නඩු විභාගයක්ද පැවැත්වේ. සුනඛයන් සම්බන්ධ සිදුවීමක් මුල් කරගෙන මතුගම වැලිපැන්න ප්‍රදේශයේ කාන්තාවක අසල්වැසි කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ පුවතක් පසුගිය සෙනසුරාදා (24 වැනිදා) වාර්තා විය.

මීගමුවේ සිද්ධියේ හා වැලිපැන්න සිද්ධිය අතර සමානකමක් නැතත් මේ සිද්ධීන් දෙකටම මුල් වී ඇත්තේ එකම කාරණයකි. මීගමුවේ සුනඛයාට වෙඩි තැබීමට හේතු වී ඇත්තේ මෙම සත්ත්වයා සැකකරුගේ ගෙවත්තේ හෝ ඒ අසල මල මූත්‍රා පහ කිරීමය. වැලිපැන්නේ දී ඇසිඩ් ප්‍රහාරයකට ලක් වී ඇත්තේ ප්‍රහාරය එල්ල කළ කාන්තාවගේ නිවසේ ඇති කරන බලු පැටවුන් දෙදෙනකු ඇයගේ නිවස ඉදිරිපිට මල මූත්‍රා කිරීමට විරෝධය පළ කිරීම හේතුකොටගෙනය.

මේ ආකාරයේ ගහමරා ගැනීම් නැතත් නිවෙස්වල ඇතිකරන සතුන් මල පහ කිරීම සඳහා පිටතට මුදා හැරීමෙන් ඇතිවන නොහොඳ නෝක්කාඩු ඕනෑ තරම් තිබේ.

අපේ රටේ බොහෝ දෙනකුට තම සුරතලා තමන්ගේ ඉඩමේ හතර මායිමේ හැර වෙනත් ඕනෑම තැනක මලපහ කිරීමේ ප්‍රශ්නයක් නැත. මේ නිසා ඇතැම් වැදගත් නෝනා මහත්වරුන් තම සුරතලුන් මලපහ කරවීම සඳහාම දහස් ගණන් යන එන මහා මාර්ග වෙත තමන් විසින්ම දක්කාගෙන එති.

මේ ක්‍රියාවේ වන්දිය ගෙවන්නට වන්නේ ඒ නෝනා මහතුන්ට නොව අහිංසක සතුන්ටය. මීගමුවේ සිද්ධිය ඊට කදිම උදාහරණයකි. වෙඩි තබා මරා නොදැමුවාට තමන්ගේ ගෙවත්තේ හෝ ඒ ආසන්නයේ මලපහ කරන සතෙකු දුටු විට අතට අසු වූ දෙයකින් ගසා නොදමන්නේ කවුද? මේ ආකාරයට සතුන්ට හිරිහැර කිරීම මිනිසකුට තරම් නොවන ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. මීගමුවේ සුනඛයා මරා දැමීම තිරිසන් වැඩක් කීම තිරිසන් සතුන්ටද කරන නිග්‍රහයක් බව බොහෝ දෙනාගේ අදහසය. අපද මේ අදහස සමග එකඟ වන නමුත් තම නිවසේ ඇති කරන සතුන් මලපහ කරවීමට පිටතට ගෙන ඒම වරදක් බවද කිව යුතුය.

‌​ෙම් ප්‍රශ්නයේදී හැම විටම හඬ නගන්නේ සත්ත්ව ප්‍රේමීන් නිසා මෙය සත්ත්ව හිංසනය පිළිබඳ ප්‍රශ්නයක් බවට ලඝු වී ඇතත් අප මෙය දකින්නේ සමාජ විනය පිළිබඳ ප්‍රශ්නයක් ලෙසය.

බටහිර රටකදී නම් ආවාට ගියාට සුරතල් සතුන් ඇති කළ නොහැක. විශේෂයෙන්ම සුරතල් සතෙකු මහ මග ගෙන යන විටෙක මලපහ කළහොත් ඒවා එකතුකර ගැනීමට භාජනයක් රැගෙන යා යුතුය. කිසිවකු තම සුරතලාගේ මලපහ මහමග දමා පැමිණීම දඩ කෑමට සිදුවන වරදකි. ඇත්තෙන්ම බොහෝ රටවල ජනතාව මේවා පිළිපදින්නේ නීතියකටත් වඩා ආචාරධර්මයක් ලෙසය.

අප බොහෝ විට සමාජ සංවර්ධනය පිළිබඳ කතා කරන විට උදාහරණයට ගන්නේ බටහිර රටවල්ය. ඒ රටවල ශිෂ්ට සම්පන්නකම, ආචාරශීලීත්වය, සමාජ විනය පුද්ගල නිදහස අගයමු. දේශපාලනයේදී සමාජ සම්බන්ධතාවලදී අධ්‍යාපනයේදී ව්‍යාපාරකරණයේදී පමණක් නොව සැමියා බිරිඳ හා දෙමාපියන් දරුවන් අතර සම්බන්ධතාවලදී පවා ආදේශ කරගන්නට උත්සාහ කරන්නේ බටහිර රටවල ආදර්ශයන්ය. ඒවා ගැන කතා කරන අපම අපේ ගෙදර සිටින බල්ලා මලපහ කිරීම සඳහා ගෙන යන්නේ මහාමාර්ගයටය. නැතිනම් ලිහා දමන්නේ අසල්වැසියකුගේ ගෙවත්තකටය.

මේ ආකාරයටම අපේ හැදියාවේ සමාජ විනයේ තරම පෙන්නුම් කරන තවත් කාරණා ගණනාවක්ම තිබේ. අද නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල නිවසක්, ගොඩනැගිල්ලක් ඉදි කරන විටෙක ගල්, වැලි ටික ගෙනැවිත් ගොඩ ගසන්නේ මහා මාර්ගයේ පසෙකය. ඉන් නොනැවතී ඇතැම් විටෙක සිමෙන්ති බදාම ටික අනන්නේද මහ පාරේය. මේ තත්ත්වය මහමග ධාවනය කෙරෙන වාහනවලට පමණක් නොව පදිකයන්ට පවා හිරිහැරයක් බව මේ අය සිතන්නේ නැත.

ඇතැමෙකු තමන්ගේ මෝටර් රථය සෝදන්නේද එහි අලුත්වැඩියා කටයුතු කරන්නේද මහා මාර්ගයේ තබාගෙනය. මහමග දෙපස වාහන නවතා තැබීම ද මේ ආකාරමය. අවසර නොමැති තැන්වල වාහන නැවැත්වීම නීතියෙන් වරදක් වුවත්, ඒ නීතිය ක්‍රියාත්මක නොවන තරම්ය. ඇතැමෙකු තම වාහනය නවතා යන්නේ කාගේ හෝ නිවසක ප්‍රවේශ මාර්ගය අවහිර කරමිනි. නැතිනම් නවතා ඇති තවත් වාහනයක් සොලවන්නට නොහැකි ආකාරයටය. අනුමත රථ වාහන ගාල්වල පවා තවත් වාහනයක් නැවැත්වීමට ඇති ඉඩද අහුරමින් තමන්ගේ වාහනය නවතා යන අය ඕනෑ තරම් සිටිති.

නාගරික, අර්ධ නාගරික පමණක් නොව දැන් ගම්වල පවා නිවෙස් පිහිටා ඇත්තේ එකිනෙකට සමීපවය. එවැනි තත්ත්වයක් තිබියදී ඇතැමෙකු තමන්ගේ නිවසේ රූපවාහිනිය හෝ ගුවන්විදුලිය ක්‍රියාත්මක කරන්නේ මුළු ගමටම ඇහෙන්නටය. විකාශනය වන්නේ සංගීත වැඩසටහනක් වුවත්, ධර්ම දේශනයක් වුවත් එය තවත් කෙනකුට හිරිහැරයක් විය හැකිය. වෙනත් රටවල් නම් විශේෂයෙන්ම රාත්‍රී කාලයේ අසල්වැසියන්ට හිරිහැරයක් වන ලෙස අධික ශබ්දය ඇති කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

මේ ආකාරයට අප කවුරුත් අඩු වැඩි වශයෙන් අනෙකුන්ගේ පෞද්ගලිකත්වය, නිදහස නොතකා කටයුතු කරන අවස්ථා තවත් ඕනෑ තරම් තිබේ. අපේ මේ වැරදි නිවැරදි කර ගන්නා තෙක් කුමන ව්‍යවස්ථා සංශෝධන ගෙන ආවත්, දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කළත් සමාජ දියුණුවක් ලබාගත හැකි යැයි සිතිය නොහැකිය.

අනෙකා නොතකන, සමාජ සංවර්ධනයට බාධා කෙරෙන අපේ ඇතැම් පුරුදු වෙනස් කිරීම කළ හැක්කේ ආකල්පමය වෙනසකින් පමණකි. සමාජයේ ආකල්ප වෙනසක් ඇති කිරීමේ වගකීම පාසල්, සිද්ධස්ථාන මෙන්ම ජනමාධ්‍ය වෙතද පැවරෙන වගකීමකි.

කෙසේ වෙතත් අපේ ඇතැම් වැරදි නිවැරදි කර ගැනීමට නම් ආකල්ප වෙනස් කිරීමේ වෑයම පමණක් ප්‍රමාණවත් නොවන අතර නව නීති පැනවීම පවා සිදු කළ යුතු වනු ඇත. කාලයක් තිස්සේ මග දෙපස කුණු දැමීම නවතා ගැනීමට හැකි වූයේ ඊට එරෙහිව දඬුවම් කරන බවට අනතුරු ඇඟවීම නිසාය. එසේ නීතිය ක්‍රියාත්මක වූ අවස්ථාද තිබේ.

සුරතල් සතුන් ඇති කිරීම වැනි අප මේ කියන මහජනතාවට හිරිහැරයක් වන ක්‍රියා නැවැත්වීමට නීති පැනවීම පහසුවෙන්ම කළ හැක්කේ පළාත් පාලන ආයතනවලටය. අඩි දහයක පහළොවක පාරකට ගල් ටිකක් අල්ලා ඒ අසලින් තමන්ගේ රූපය සහිත පුවරුවක් සවිකරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ අවධානය මෙවැනි දේ ගැනත් යොමු වේවා!