News

බුලත් කඩවල විට කන්න දෙන්න එපා

බුලත්විට සපා කෙළ ගැසීම දැඩි සෞඛ්‍ය තර්ජනයක් බවත් වහාම ඒවා විකුණන කඩවල සිට විට සැපීමට ව්‍යාපාරිකයා ඉඩ ලබානොදිය යුතු බවත්, කුලියාපිටිය නාගරික මන්ත්‍රී ශර්ලි ජයකොඩි නගර සභා සැසිවාරයේදී පැවසීය. කුලියාපිටියේ බොහෝ බුලත්විට විකුණන ස්ථානයන්හි අළෙවිකරුවන්ද මුහුණු ආවරණ ඉවත් කරමින් විට සපා කෙළ ගසන බවත් අනිවාර්යයෙන් බුලත්විට සපන්නට මුහුණු ආවරණ ඉවත් කිරීමට සිදුවන නිසා එම ව්‍යාපාර ස්ථානයේ සිට බුලත්විට සැපීමට ඉඩ ලබානොදීම මේ දිනවල කළයුතු බවත් හෙතෙම පැවසීය.

බුලත් සපන පිරිස එම ව්‍යාපාරික ස්ථාන අවට සිටින අයගේ පවා සෞඛ්‍යයට තර්ජනයක් අයුරින් හැසිරෙන අයුරු බොහෝදෙනෙකු නිරීක්‍ෂණය කර ඇති බවද පැවසූ ඔහු ඔවුන් නගරයේ තැන තැන බුලත් කෙළ ගැසීමෙන් කොවිඩ් වයිරසය පැතිරීමට අනුබලදීමක් වියහැකි බවද පැවසීය. ඊට අදාළ උපදෙස් ලබාදෙන බවත් ඒවා පිළි නොපදින ව්‍යාපාරිකයන්ට එරෙහිව කටයුතු කරන බවද නගර සභාවේ සභාපති ලක්‍ෂ්මන් අදිකාරි පැවැසීය.

මනුසත් සේරසිංහ -කුලියාපිටිය