බුලත් කෙළ පහරින් පවුලක් නිරෝධායනයේ
කොවිඩ් නිවාරණ මධ්‍යස්ථානයක් වෙත බස් රථයකින් රැගෙන ගිය කොවිඩ් ආසාදිත රෝගීන් පිරිසක් අතරින් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති කාන්තාවක බස් රථයේ සිට ගැසූ බුලත් කෙළ පහරක් වැදීම හේතුවෙන් මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයකු ඇතුළු ඔහුගේ පවුලේ තිදෙනකු පෙරේදා (19 වැනිදා) සවස ස්වයං නිරෝධායනයට යොමුකළ පුවතක් බළන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රැගෙන ගිය කොරෝනා රෝගීන් පිරිසක් බළන්ගොඩ සමනල වැව කොවිඩ් නිවාරණ මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කර තිබෙන අතර බළන්ගොඩ-කල්තොට මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී එම බස් රථයේ ගමන් කළ කොවිඩ් ආසාදිත කාන්තාවක මෙලෙස බස් රථයෙන් පිටතට බුලත් කෙළ ගසා තිබෙන අතර මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරකුගේ ඇඟට එම බුලත් කෙළ පහර වැදී ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු 119 පොලිස් හදිසි දුරකථන අංකයට දැනුම් දී ඇත. පසුව ඔහුගේ යතුරුපැදිය විශබීජහරණය කිරීමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර ඇති අතර ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් තිදෙනකු ස්වයං නිරෝධායනයට යොමුකළ බවත් බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති රෝගීන් ප්‍රවාහනය කිරීමේදී නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් යටතේ ප්‍රවාහනය නොකිරීම හේතුවෙන් අදාළ සිද්ධිය ඇතිවූ බවට ජනතාව චෝදනා කරති.එන්.එස්. ප්‍රියනන්දන-බළන්ගොඩ
