බොල්ගොඩ මාළු අභිරහස් ලෙස මැරෙයි
ඇදහැලුණු වර්ෂාවත් සමග බොල්ගොඩ ගඟේ අතු ගංගාවක් වන සුවාරපොළ දැල්තර ප්‍රදේශයේදී මිරිදිය මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් මිය ගොසි සිටි අයුරු ඊයේ (22දා) දක්නට ලැබිණි.
මෙහිදී ප්‍රදේශවාසීන් පැවැසුවේ මින් පෙරත් මෙවැනි ආකාරයට මත්ස්‍යයන් මියගිය බවත් මෙසේ සිදුවන්නේ මන්දැයි තමන් නොදන්නා බවත්ය. ඔවුන් පැවැසුවේ වගකිව යුතු බොහෝ අංශ මේ පිළිබඳ දැනුවත් කර ඇති බවයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් බොල්ගොඩ සුරැකීමේ ග්‍රාමීය ධීවර සංවිධානයේ ලේකම් අසංක ප්‍රනාන්දු මෙසේද පැවැසීය.
‘‘මෙවැනි ආකාරයට මත්ස්‍යයන් මිය යාමට හේතුව වර්ෂාවෙන් පසු කදිරාන ප්‍රදේශයේ කුණු කසළ මෙම ස්ථානයට බැහැරවීම විය හැකියි. එම ස්ථානයෙන් බැහැර වන ජලය කිසිදු ආකාරයකින් පෙරහන් කිරීමක් සිදු නොවන බැවින් කෙළින්ම එම අපද්‍රව්‍ය සමග ජලය බොල්ගොඩ ගඟට බැහැර වීම හේතුවෙන් මෙවැන්නක් සිදු වනවා. මේ පිළිබඳ පරිසර අමාත්‍යංශය දැනුවත් කර ඇතත් කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වනතුරු නොගත් නිසා තමයි මේ මත්ස්‍යයන් මිය ගියේ.’’
මෙහිදී බොල්ගොඩ ගඟට ආවේණික මත්ස්‍යයන් වන ඉස්සන් කුලයට අයත් ධාර ඉස්සා, මූඩිස්සා, කකුළුවා, කොරලි, කටුමැස්සා, පෙතියා, අඟුළු පැටව් වැනි මත්ස්‍යයන්ට හානි සිදුව ඇති බව පෙනී යයි. මේ අනුව යම්කිසි විෂ ද්‍රව්‍යයක් බොල්ගොඩ ගඟට මිශ්‍රවී ඇති බවට සැක කරන බව බොල්ගොඩ සුරැකීමේ ග්‍රාමීය ධීවර සංවිධානයේ ලේකම්වරයා පැවැසීය.
දර්ශාන් කානිල් – මොරටුව
