භික්ෂුත්වයට නොගැළපෙන ලෙස ඇතැම් භික්ෂූන් කටයුතු කරනවා
බුදුරජාණන් වහන්සේ භික්ෂුත්වයට නුසුදුසු යැයි අනුදැන වදාළ මූලික භික්ෂු අනන්‍යතාවයන් පවා නොසලකා ඇතැම් භික්ෂුන්, භික්ෂුත්වයට නොගැළපෙන කටයුතුවල නිරත වන බවත් මේවායින් වැළකී සිටීම වඩාත් උචිත බව උන්වහන්සේලා විසින් වටහාගත යුතු බවත් ත්‍රෛනිකායික මහනායක හිමිවරු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.
සියම් මහනිකායේ මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, උඩරට අමරපුර මහ නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි යන හිමිවරුන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.
ඇතැම් භික්ෂුන් භික්ෂුත්වයට නොගැළපෙන කටයුතුවල යෙදෙන බව පසුගිය දිනවල ජනමාධ්‍යයෙන් දැක ගැනීමට ලැබිණි. පිරිසුදු ථෙරවාදී බුදුදහම නොසැසී පවත්නා පරිද්දෙන් ලක්දිව භික්ෂුන් වහන්සේ බැමිණිටියා සාය වැනි අති දුෂ්කර අවස්ථාවලදී පවා කුසගිනි දරාගෙන වනපොත් කරමින් දිවි කැපකොට ධර්ම විනය රැකගෙන වංශකතාවලින් හා ශාසන ඉතිහාසයෙන් අනාවරණය වෙයි.
මේ අනුව පිරිසුදු ථෙරවාදී බුදුදහම අදටත් ආරක්ෂා වී තිබෙන කේන්ද්‍රස්ථානය වශයෙන් ලෝකවාසී බෞද්ධයෝ ගරු බුහුමන් දක්වති. එම ගෞරවය වත්මන් භික්ෂුන් වහන්සේ විසින්ද ආරක්ෂා කර ගැනීම පරම යුතුකමකි.
තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් විසි වසකට පසු භික්ෂූන් වහන්සේගේ කාය වාග් සංවරය හා ආචාර සම්පත්තිය සඳහා දේශිත හා පනවන ලද ධර්මය, විනය බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ශාස්තෘන් වහන්සේ වශයෙන් සැලකීමට අනුදැන වදාළ සේක. සම්බුදු පරිනිර්වාණයෙන් පසු අද දක්වා වසර 2600 කට වැඩි කාලයක් සම්බුදු සසුන ආරක්ෂාකර ගැනීමට හැකිවූයේ එවන් ධර්මදර විනයදර ශාසන මාමක භික්ෂූන් වහන්සේලා නිසාමය.
භික්ෂුව සෑම විටම කළ යුත්තේ ස්වකීය දායකකාරකාදීන්ගේ සුබ සාධන හා සමාජ සංරක්ෂණය සැලසීමෙහිලා ඔවුන්ට අර්ථයෙන් හා ධර්මයෙන් අනුනාශාසනා කිරීමයි. නිති පංච ශීල ප්‍රතිපත්ති හා පොහොය අටසිල් හා දස සිල් සමාදානයට යොමු කිරීම ආදි ධර්මානුගත ජීවිතයකට මඟ පෙන්වීමට වෑයම් කළ යුතුයි.
මතින් තොර ගිහි සමාජයක් ඇතිකර ගැනීම භික්ෂූන් වහන්සේ ස්වකීය දායකකාරකාදීන්ට මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවතයෙන් වැළකී සිටීමේ ශික්ෂා පදය ආරක්ෂා කිරීමට මාර්ගෝපදේශනය ලබා දීමෙන් ඒ ඒ පුද්ගලයාට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට මෙන්ම පවුල් ජීවිතය සුරක්ෂිතකර ගැනීමට හා ආර්ථික ශක්තිය වැඩි දියුණුකර ගැනීමටද පරලොව වශයෙන් සසර ජය ගැනීමටද ඉවහල් වන බව පෙන්වාදීම ඉතා වැදගත් වෙයි.
මෙම ආපදාපන්න අවස්ථාවේදී ත්‍රිවිධ රත්නයේ ගුණ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මානුගත ජීවිතයකට නැඹුරුවීම ගිහිපැවිදි කාටත් මෙළොව මෙන්ම පරලොව ජීවිතය ජය ගැනීමට හේතුවනවා ඇත. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් රෝ බිය දුරුවී රටේ සමෘද්ධිය හා සෞභාග්‍ය ඇතිකර ගැනීමටත් සසර දුක් නිවාරණයකර ගැනීමටත් හැකිවේවායි ආශිංසනය කරමු.
කමල් සුරවීර – මහනුවර
