News

මත්තල පළමු ගුවන් භාණ්ඩ යානය ඇමරිකාවට

වසර පහකට ආසන්න කාලයක් අක්‍රියව පැවති මත්තල ගුවන්තොටුපොළ යොදාගෙන අමෙරිකාව සහ යුරෝපා රටවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ දැවැන්ත මෙහෙයුම එමිරේට්ස් ගුවන්සේවය සමගින් ඊයේ (09) ආරම්භ කළේය.

මෙරට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ විවෘත කෙරුණේ 2013 මාර්තු 18 වැනිදාය.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ බහාලුම් සංකීර්ණයේ වී ගබඩා කිරීමට තීරණය කෙරුණේ බොහෝ පාර්ශ්වවල විරෝධය ද නොතකමිනි.

කොවිඩ් වසංගතයට කොටුවී සිටි ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම්වලදී ජූනි සහ ජූලි මාසවල දී පමණක් ගුවන් ගමන් වාර 70 කට අධික ප්‍රමාණයක් හසුරුවමින් මගීන් 2500කට අධික පිරිසකට සේවා සැපයීමට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට හැකිවිය.

නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් මත්තල ගුවන්තොටුපොළ මගින් අමෙරිකාව සහ යුරෝපා රටවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ මෙහෙයුම් ආරම්භ වුණේ ඊයේ උදෑසනය.

ටොන් 28 ක නිමි ඇඳුම් ඇතුළු ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ භාණ්ඩ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.ඒ 2529 දරණ යානයකින් එම රටවලට යැවිනි.