News

මන්නාරමේ නව සුළං බල ව්‍යාපෘති ඇරැඹීමට ජනපතිගෙන් උපදෙස්

මන්නාරම තුඩුව ආශ්‍රිතව ආරම්භ කර ඇති සුළං බල ව්‍යාපෘතියට සමගාමීව, තවත් සුළං බල ව්‍යාපෘති ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලිබල සහ බලශක්ති ඇමැති මහින්ද අමරවීරට ඊයේ (20 වැනිදා) උපදෙස් ලබාදී ඇත.

සුළං බල ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා මෙම දැනුම් දීම සිදුකර ඇත.

2016 වර්ෂයේ මන්නාරම තුඩුව ආශ්‍රිතව සුළං බල ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, එහි ඉදිකිරීමේ අවසන් අදියරයට පැමිණ තිබේ.

ව්‍යාපෘතිය ලබන සැප්තැම්බර් මස විවෘත කිරීමට නියමිතය. මෙගා වොට් 230ක විදුලිය බලයක් එමගින් නිෂ්පාදනය කෙරේ.

මෙම ව්‍යාපෘතියේ දිගුව ආරම්භ කිරීමට පසුගිය කාලයේ නොහැකි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඇමැති මහින්ද අමරවීරට දැනුම් දී තිබිණි. ඒ පිළිබඳව ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබේ.

‘කිසිදු බියකින් තොරව ව්‍යාපෘතියේ දිගුව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඇමැති මහින්ද අමරවීර පැවැසුවේ පසුගිය කාලයේ ‘මන්නාරමට වෙනම නීතියක් ක්‍රියාත්මක වූ බැවින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි.

 

උදයජීව ඒකනායක